මෙවර මහ කන්නයේ දී ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පසුගිය මැයි මාසයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී කඩිනමින් පොහොර මිල දී ගැනීම සඳහා අදාල ටෙන්ඩර් කැදවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ පොහොර සම්බන්ධව කටයුතු කරන නිලධාරින්ට උපදෙස් දී තිබුනි.
නමුත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී මාස තුනක් ගත වූවත් ඒ සම්බන්ධව කටයුතු කරන වගකිව යුතු නිලධාරින් දෙදෙනා යුරියා ටෙන්ඩර් කැඳවීම සඳහා කිසිදු පියවරක් ගෙන නොමැතිබව අනාවරණය වී තිබේ.
මේ වනවිට රටවල් කිහිපයක් අතර ඇතිවී තිබෙන යුධ ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙදපළෙහි යුරියා පොහොර ඇතුළු සියලු පොහොර මිල ගණන් ඉහළ යාමේ අවදානමක් පවතී. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුනු මැයි මාසයේ දී මෙම පොහොර මිල දී ගැනීමට කටයුතු කළේ නම් ඉතාමත් අඩු මිලකට යුරියා පොහොර මිල දී ගැනීමට හැකියාව තිබිනි. ඒ වනවිට ලෝක වෙළෙඳ පලේ යුරියා මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 350කට පමණ මිල දී ගැනීමට හැකියාව තිබු අතර යුධමය තත්ත්වය නිසා මේ වනවිට එම මුදල ඩොලර් 650ත් ඉක්මවා ගොස් ඇත.
මේ නිසා රජයට විශාල මුල්‍යමය පාඩුවක් සිදු කර ඇති බව පෙනී යයි.
මාස තුනක් ටෙන්ඩර් ප්‍රමාද කිරීම නිසා රජයට විශාල මුදලක් පාඩු කරමින් හා ගොවි ජනතාවට කලට වේලාවට පොහොර ලබා දීම අපහසුතාවයක් ඇති කිරීම මෙන්ම සිතාමතා රාජකාරිය පැහැර හැරීම මෙම නිලධාරින් දෙදෙනා විසින් සිදු කර ඇති බව පෙනී යයි.
මේ නිසා පොහොර සැපයීමේ කටයුතු බාරව කටයුතු කරන ලද අදාල ඉහළ නිලධාරියා හා නිලධාරිනිය වහාම අමාත්‍යාංශයෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට මාරු කර යැවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.