පොහොර ගැටලුව මේ සතියේදී අවසන්
මැද පෙරදිග කලාපයේ පවතින යුදමය තත්වය හේතුවෙන් දේශීය කෘෂිකර්මාන්තයට සිදු විය හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා කෘෂිකර්මයට සම්බන්ධ සියලු දෙපාර්තමේන්තු සහ ආයතන එක්ව ‘ඉසුරු ගෙනෙන යලක්‘ නමිත් වන ජාතික කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන මේ මස 14 වනදා ආරම්භ කරන බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා සඳහන් කරයි.
පේරාදෙණියේ පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අධ්යක්ෂ ජනරාල් තුෂාර වික්‍රමාරච්චි මහතා මේ බව කීය.
"කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,මහවැලි අධිකාරිය, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළුව කෘෂිකර්මාන්තයට සම්බන්ධ සියලු ආයතන එකතු වෙලා ඉසුරු ගෙනන යලක් කියන මෙම ජාතික කෘෂිකාර්මික වැඩසටහන ආරම්භ කරනවා. මේකට හේතුව තමයි මැද පෙරදිග කලාපයේ යුද උණුසුමත් එක්ක කෘෂිකර්මාන්තයට සම්බන්ධ යෙදවුම් සැපයීම අඩාළ වුණා.
ආනයන අපනයනත් අඩාල වුණා. මේ කරුණුත් එක්ක දේශිය කෘෂිකර්මාන්තයට යම් බලපෑමක් ඇති වුණා.මේ තත්වය නිසා ගොඩක් යෙදවුම් වල මිළ ඉහළ ගියා. මේ නිසා ගොවීන් අපහසුතාවයට පත් වුණා. නමුත් රජය කලින් මිලටම පොහොර ඇතුළු ද්‍රව්‍ය ගොවීන්ට ලබා දෙන්න කටයුතු කළා. නමුත් දිගින් දිගටම මේ තත්වය පැවතුනොත් මේ යෙදවුම්වල මිල ඉහළ යාමේ ප්‍රවණතාවයක් තියෙනවා.
ඒ නිසා ගොවිබිම්වල නිෂ්පාදනය ඉහළ නංවන්නත්, තාක්ෂණය කොහොමද ගොවි බිමට හඳුන්වා දෙන්නේ කියලත් කියන එක හඳුන්වා දීම තමයි මේ ඉසුරු ගෙනන යලක් කියන ජාතික වැඩසටහන. ඒ වැඩසටහන ආරම්භ කරන්න සියලු විධිවිධාන මේ වන විට යොදලයි තියෙන්නේ. මේ ජාතික වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුනම හතාගල ගම්මානයෙන් ආරම්භ කරනවා.
විශේෂයෙන් මේ වන විට ගොවිතැන සඳහා මිනිස් ශ්‍රමය සොයා ගැනීමේ පවතින අපහසුතාවයට විසඳුමක් ලෙස තාක්ෂණික උපකරණ හඳුන්වා දීමත් අස්වනු වැඩි කර ගැනීම මගින් වැඩි ආදායම වැඩි කර ගැනීමට ගොවීන්ට අවස්ථාව ලබා දීමත් මෙම ජාතික වැඩසටහනේ අරමුණයි. යම් හෙයකින් ඉදිරියේදී මැදපෙරදිග යුදමය තත්වය නිසා යම් මිල ඉහළ යෑමක් සිදු වුනත් එයට මුහුණ දීමට මෙමගින් හැකි වනවා" යැයිද කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් තුෂාර වික්‍රමාරච්චි මහතා මෙහිදී තව දුරටත් කීය.
මේ වන විට රට පුරා පවතින බව කියන පොහොර හිඟය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා සඳහන් කළේ, පොහොරවල කිසිදු හිඟයක් නොමැති බවත් මාර්තු මාසය වන විට යල කන්නයට ප්‍රමාණවත් යූරියා මෙට්‍රික් ටොන් 1,50,000 ක් පමණ තිබූ බවත් කීය.
කෙසේ නමුත් ගොවි ජන සේවා මධ්‍යස්ථානවලින් පමණක් පොහොර බෙදාහැරීම නිසා පුද්ගලික වෙළද සැල්වල පොහොර නොමැති වීම ඇතැම් ගොවීන් පොහොර නොමැති බවට සිතා ඇති බව පෙනී යන බවත් මෙම සතියේ සිට නැවතත් පුද්ගලික අංශය මගිනුත් පොහොර බෙදා හැරීමට රජය තීරණය කර ඇති නිසා පොහොර ගැටළුව මෙම සතිය තුල විසඳෙනු ඇති බවත් කෘෂිකර් අධ්යක්ෂ ජනරාල් අචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා මෙහිදී තව දුරටත් කීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
