ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) විසින් අද (18) දෙවන වරටත් සභාවට ඉදිරිපත්කරන ලද 2024 අය වැය ලේඛණයට පොහොට්ටුවේ උපසභාපතිවරයා හා එම කණ්ඩායමේ මන්ත්‍රිවරු හත් දෙනෙකු ඇතුළු විපක්ෂ මන්ත්‍රිවරු දහනම දෙනෙකු විරුද්ධව ජන්දය ප්‍රකාශකර වැඩිජන්ද 9කින් පාරාජයට පත්කළහ.
ඒ අනුව කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ සභාපතිධූරය අද සිට අහෝසි විය.
දිවයිනේ දැනට මහජන නියෝජිතයන් පාලනය කරන එකම පළාත් පාලන ආයතනය ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පමණි.
මෙම සභාවේ කොට්ටාශ 17 නියෝජනය කරමින් තේරි පත්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු 17 දෙනෙකු සිටින අතර එක්සත් ජාතික පක්ෂයෙන් තේරි පත්වූ මන්ත්‍රිවරු 07 දෙනෙකු,එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පත්වූ මන්ත්‍රිවරු 03 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණෙන් තේරි පත්වූ මන්ත්‍රිවරු 02 කු සිටිති.මුළු මන්ත්‍රි සංඛ්‍යාව 29 දෙනෙකි.
මෙම සභාවේ 2024 අයවැය ලේඛණය සභාපති (පො.පෙ.) කරුණාසේන පොන්නම්පෙරුම මහතා විසින් ඉකුත් (2023.12.05) පස්වැනිදා පළමුවරට සභාවට ඉදිරිපත් කරන ලද අතර එයට විරුද්ධව උපසභාපතිවරයා ඇතුළු මන්ත්‍රිවරු 19 ක් ජන්දය ප්‍රකාශ කිරීම නිසා වැඩි ජන්ද 09කින් එය පරාජයට පත්විය.
ඒ අනුව ( 2023.12.18) අද දින පෙරවරු 10.00ට ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ විශේෂ මහා සභා රැස්වීමක් සභාපති (පො.පෙ.) කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සභා ප්‍රධාන කාර්යාලයේදී පවත්වනු ලැබීය.
මෙහිදී සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා විසින් 2024 අයවැය ලේඛණය දෙවන වරටත් අද (18) සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
මේ සඳහා මන්ත්‍රිවරු බෙදීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව එම සභාවේ ලේකම් අනුෂා සුජානි ප්‍රියදර්ශනී මහත්මිය විසින් ජන්ද විමසනු ලැබීය.
මේ අනුව සභාපතිවරයාගේ සභාපතිධූරය අහෝසිවූ අතර ඔහු සභාපති අසුනින් ඉවත්ව ගිය අතර උප සභාපති ජයසේන නාගොඩවිතාන මහතා වැඩබලන සභාපතිවරයා ලෙස පත්විය.
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර