ජනතා විමුක්ති පෙරමුණද ඇතුළුව සෑම දේශපාලන පක්ෂයකටම දේශපාලන පොරපිටියේ බල්ටි ගැසීමට හැකිව තිබෙන්නේ රණවිරුවන් විසින් යුද්ධය අවසන් කොට නිදහස ලබා දුන් නිසා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට කච්චතිව් දූපතට යාමට යාමට හැකිවූයේ එම නිදහස නිසාා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ඒ බව අවධාරණය කර සිටියේ ඊයේ (02) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් හා එහි අනු නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එහිදී රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීම ඔස්සේ වත්මන් රජය රණවිරු දඩයමක් ආරම්භ කර තිබෙන බවත් ඉදිරියේදී ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට විශාල බලපෑමක් එල්ල විය හැකි බවද අවධාරණය කළේය.
හිටපු නාවික හමුදාපතිවරයා සිරගෙට යවා නාවික හමුදා බෝට්ටුවකින්ම ජනාධිපති වරයා නාවික හමුදා ආරක්ෂාව යටතේතිබෙන කච්චතිව් දූපතට ගිය බවත් එසේ යාමට නිදහස නිර්මාණය කොට දුන්නේ රණවිරුවන් බවත් එසේ නොමැති නම් ජනාධිපති වරයාට සිදුවන්නේ දකුණු ඉන්දියානුන් නළු විජේ ගේ කතා අසා චිත්‍රපටියක් බලාගෙන ගෙදරට වී සිටීමට බවද පැවසීය.
රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් නිදහස ලබා නොදුන්නා නම් කච්චතිව් වලටයාමට ප්‍රභාකරන්ගෙන් අවසර පත්‍රයක් ගැනීමට සිදුවනු ඇති බවද ඔහු අවධාරණය කළේය.
ඩයස්පෝරාවේ අවශ්‍යතාවය මත උතුරේ එල්ටීටීඊ ත්‍රස්තවාදය සැමරීමට අවස්ථාව උදා වී තිබෙන බවත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බව කිව්වත් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවද පැවසීය.
රටේ නීතිය ක්‍රියාත්මක වීම ගැටලුවක් නොවන බවත් එහෙත් දේශපාලන හේතුන් මත හෝ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය මත නීතිය ක්‍රියාත්මක වනවානම් එය ගැටලුකාරී තත්ත්වයක් බවද අවධාරණය කළ රාජපක්ෂ මහතා තමන්ගේ පක්ෂයේ වේදිකාවෙන් ගෙනා අයෙකු පොලිසියේ ඉහළ නිලයකට පත්කොට ඉතිහාසයේ පළමුවරට පොලිස් සේවයට අගෞරවයක් එක්කළ බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පත් කරන ලද්දේ ද දේශපාලන වේදිකාවෙන් ගෙනැවිත් බවද පැවසීය.
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්වීම රනිල් අත්අඩංගුවට පත් වුවත් නොවුනත් සිදුවිය යුත්තක් බව අවධාරණය කළ නාමල් රාජපක්ෂ මහතා පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක් විය යුතු බවත් ඔවුන් අමනාපව සිටීම ප්රජාතන්ත්රවාදී දේශපාලනයට ගුණදායක නොවන බවද පැවසීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී රත්නායක සංජීව එදිරිමාන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.