ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව කමිටු සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රීනි සන්ධ්‍යා සිරිවර්ධන හා ආනන්ද හරිස්චන්ද්‍ර යන මහත්ම මහත්මීහු දිස්ත්‍රික් නායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට අද (20දා) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ දි භාර භාර දුන්හ.
මෙම කමිටුව පත් කෙරුණේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි. එම සාකච්ඡාව පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ මතය අහඹු ලෙස විමසා ඔවුන් මුහුණ දෙන ගැටළු සහ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ වාර්තාවක් සැකසීම මෙම කමිටුවට පැවරුණු වගකීමයි. කමිටුව පසුගිය දින දෙක තූළ රැස් වි අදාළ වාර්තාව සකස් කර තිබිණි. ඉදිරි මැතිවරණයේ දි පොහොට්ටුව සන්ධානයකින් තරඟ කළ යුතු බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශව සම්බන්ධ කරගත යුතු බවත් කමිටුවේ මතය වී තිබේ.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි සඳහන් කළේ කමිටු වාර්තාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයක්ට ඉදිරිපත් කරන බවයි. දැනටමත් පක්ෂ අටක් සමඟ සන්ධානගත වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාකච්ඡා ආරම්භ කර ඇතැයි පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉතා කඩිනමින් එම සාකච්ඡා අවසන් කර නව සන්ධානය ප්‍රකාශයට පත්කරන බව ද කීවේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී වෙනත් පක්ෂ වලින් ඉදිරිපත් වී පොහොට්ටුව ළකුණින් තරඟ කර ජයග්‍රහණය කළ පළාත් පාලන නියෝජිතයින් රැසක් මෙවර පොහොට්ටුවෙන් ඉදිරිපත් වීමට ඉල්ලා ඇති බව ද ඔහු කීවේය. මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවා තිබේ. ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ද ඇමතිවරයා කීවේය.
බහුතරයක මතය වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයකින් තරඟ කළ යුතු බවයි. ඒ අනුව ඉදිරි සාකච්ඡා සිදු කෙරෙන බව ද ඔහු කීවේය.
කවුරුන් කුමක් කීවද මේ මොහොතේ සියලු පාර්ශවයන්ගේ වගකීම පවතින ආර්ථික අර්බුදයෙන් ජනතාව මුදා ගැනීම බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඒ සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද අවධාරණය කළේය.
