මෙවර යල කන්නයේ පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙලීම් කටයුතු ආරම්භ කල ද රජය මෙතෙක් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම නිසා, පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් තමන්ගේ වී කිලෝවක් රුපියල් 90 ක් වැනි අඩු මිලකට මිලදී ගැනීමේ කූට ව්‍යාපාරය ආරම්භ කර ඇති බව මහවැලි බි කළාපයේ ගොවීන් පවසති.
මේ වනවිට පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් අමුවෙන් නාඩු වී කිලෝවක් රුපියල් අනුවකට සහ වේලපු වී කිලෝවක් රුපියල් 120 ක් වැනි මිලකට ලබා ගනිමින් පවතින අතර සම්බා වී මිලද ඊට සාපේක්ෂව පහල බැස ඇති බව ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් සඳහන් කරති.
රජය අමු වී කිලෝවක් සඳහා රුපියල් 102 ක මිලක් නියම කළද මේ වනවිට මහවැලි බි කලාපයේ වී අලෙවි මණ්ඩලයට අයත් සියලු වී ගබඩා වසා ඇති අතර කිසිදු ස්ථානයක ගොවීන්ගේ වී මිලදී ගැනීමක් සිදු නොවන බවද ගොවීන් චෝදනා කරති.
මේ වනවිට මහවැලි බි කලාපයේ අක්කර දෙකහමාරක කුඹුරක් අස්වනු නෙලීම් කටයුතු සඳහා භූතයා, සුනාමි, යන්ත්රයන්ත්ර හිමිකරුවන් රුපියල් 40,000 ක් වැනි මුදලක් අයකර ගන්නා බවත්, මෙවර යල කන්නේ වී වගාව සඳහා පොහොර මිලද විශාල වශයෙන් ඉහළ ගොස් තිබු පසුබිමක තමන්ගේ වී අස්වනු සාධාරණ මිලකට ලබාගැනීම සඳහා රජයේ වී ගබඩා කඩිනමින් විවෘත කර දෙන්න ලෙසද මහවැලි බි කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් ඉල්ලා සිටිති.
පෙර ආණ්ඩු සේම වර්තමාන ආණ්ඩුව ද සුපුරුදු පරිදි පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන්ට සහ සහල් මෝල් ව්‍යාපාරිකයන්ට තමන්ගේ වී තුට්ටු දෙකට මිලට ගැනීමට ඉඩ දී ඇති බවත්, වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලේදි,හා පොහොර සහනාධාර මුදල් බැංකු ගත කිරීමේදී සෑම රජයක්ම තමන් පීඩනයට පත්කර, අසාධාරණකම් සිදුකරන බවද ගොවීන් චෝදනා කරති.
මෙවර යල කන්නයේ පොළොන්නරුවේ වී මිලදී ගැනීම වැඩපිළිවෙල පිළිබඳ වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමනාකාර නිමල් ඒකනායක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ගබඩා විස්සක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත්, වැලිකන්ද, මනම්පිටිය, මැදිරිගිරිය, දියබෙදුම,ප්‍රදේශවල මේ වනවිට ගබඩා හතරක් විවෘත කර තිබෙන බවත්, ගොවීන්ගේ වී මිලදී ගැනීමට ඕනෑම අවස්ථාවක සූදානම් වී සිටින බවත් මෙතෙක් වී ඇටයක්වත් විවෘත කරන ලද පොළොන්නරුවේ ගබඩාවලට නොලැබුණු බවයි.
මනම්පිටිය නිමල් ජයරත්න
