පොලොන්නරුව මහවැලි සී හා බී කලාපවල මෙවර යල කන්නයේ වී අස්වනු නෙලීමත් සමග සම්බා හා නාඩු වී කිලෝවක මිල පෞද්ගලික වෙළඳුන් විසින් මිල පහත හෙළා තිබෙන බව මහවැලි බී හා සී කලාපවල ගොවි සංවිධාන නියෝජිතයින් සඳහන් කරති.
ඒ අනුව රුපියල් 95 ත් 98 අතර පැවති නාඩු වී කිලෝවක් මේ වෙනවිට රුපියල් 90 දක්වාද රුපියල් 105 ක් 110 ත් අතර පැවති සම්බා වී කිලෝව මිල රුපියල් 95 ත්, 100 ත් අතර මිල දක්වා පහත හෙළා ඇති බවද ගොවිසංවිධාන නියෝජිතයින්හා ගොවීන් පෙන්වා දෙයි.
සෑම යල, මහ දෙකන්නයේම වී අස්වනු නෙළන සමයේදී පොළොන්නරුවේ ප්‍රධාන වී මෝල් ව්‍යාපාරිකයින් සහ සහල් මෝල් ව්‍යාපාරිකයින් තමන්ගේ වී තුට්ටු දෙකට ලබාගැනීමේ ජාවාරක නිරත වන අතර මෙවර යල කන්නයේ නෙලන වි අස්වනු අඩු මිලට ලබාගැනීමේ ජාවාරමක නිරත වන බවද ගොවීන් කියති.
වසර කිහිපයකට පෙරාතුව රසායනික පොහොර යොදා වී වගා කිරීමේදී අක්කර දෙකහමාරකින් වී කිලෝ 5000,ත් 6000 ත් අතර ප්‍රමාණයක් ලබාගත්තද මෙවර පැවති පොහොර අර්බුද හේතුවෙන් වී කිලෝ 3500 ත් 4000 ත් අතර ප්‍රමාණයක අස්වැන්නක් ලබාගැනීමට නොහැකි මට්ටමක් පවතින බව ගොවීන් කියති.
මෙවර යල කන්නයේ මහවැලි බී කලාපයේ ගොවි පවුල් විසිපන්දහසක පමණ ප්‍රමාණයක් අක්කර 60,000 වැඩි ප්‍රමාණයක් වී වගාකර තිබෙන අතර මහවැලි සී කලාපයේ ගොවි පවුල් 22,000 අක්කර 55,000 ක් පමණ වී වගා කර තිබෙන බවද ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සංඛ්‍යාලේඛන සනාථ කරයි.
ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් මෙවර වී කිලෝවක් සඳහා රජයෙන් රුපියල් 150 ක සහතික මිලක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ බවද මහවැලි බී හා සී කලාපවල ගොවි සංවිධාන නියෝජිතයන් සහ ගොවීන් සඳහන් කරති.
මෙම තත්ත්වයන් යටතේ මෙවර ද ගොවීන්ට ඉතා කඩිනමින් ණය තුරුස් ගෙවා ගැනීමේ තත්ත්වයන් මත එම අවස්ථාව උපරිම වශයෙන් උපයෝගීකර කරගනිමින් පොළොන්නරු දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී සහ සහල් ව්‍යාපාරිකයන් දැනටමත් ගොවීන්ගේ වී අස්වනු ඉතා අඩුමිලකට ලබාගැනීමේ කටයුතුවල නිරත වන බවද ගොවීන් කියති.
මනම්පිටිය නිමල් ජයරත්න