පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගොවීන්ට අතරමැදි කන්නයක් හෙවත් තුන්වැනි කන්නයට යෑම සඳහා අවශ්‍ය ජලය ඇතුළු සම්පත් තිබෙන බවත්, මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් අතිරේක බෝග වගා කරමින් විශාල අස්වැන්නක් ලබාගෙන ආර්ථික වශයෙන් විශාල දියුණුවක් ලබා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවති පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගොවි නියෝජිතයින් සහ මැති ඇමැතිවරුන් සමග එක්ව සිදුකළ සාකච්ඡාවේදි අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.
මෙම අවස්ථාවට මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ක්‍රීඩා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ, පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම යන මැති ඇමැතිවරු මෙන්න කෘෂිකර්මාන්ත ක්ෂේත්රයේ උසස් නිලධාරීන් රැසක්ම සහභාගි වී සිටියහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද මුදල් කිසිසේත්ම කප්පාදු කර නොමැති බවත්, ඉදිරියේදී ඉන්ධන මිල අඩු වීමත් සමග කෘෂි කර්මාන්තයට ගන්නා යෙදවුම් මිල අඩු විය හැකි බවත්, එමෙන්ම දැනට,විදේශීය රටවලින් ගෙන්වන කෘෂිඋපකරණ සඳහා කිසිදු බද්දක් අය නොකරන බවත් ඔහු කීය.
ඩීසල් වල මිල විශාල මුදලකින් අඩු නොවුනද ඉදිරියේදිත් ඩිසල් මිල අඩු කරන බවත්, ඒ අනුව එහි වාසිය ගොවියාට වහාම ලබාදිය යුතු බවත්, අලුතෙන් යන්ත්‍රෝපකරණ ගෙන්වීමේදී අලුත් කණ්ඩායමක් තෝරා ගනිමින් ඔවුන්ට අඩු පොලියට ණය ලබාදී එම යන්ත්‍රෝපකරණ ගෙන්වා අලෙවි කිරීමෙ අයිතිය ගොවි සංවිධානවලට, තරුණ ගොවි කණ්ඩායම් වලට ලබාදීමේ ක්‍රමවේදයක් සකසන බවද අමරවීර මහතා කීය.
රටේ යම් මුදල් ගැටලුවක් තිබියදීත් මෙවර යල කන්නයේ රජයේ පොහොර සහනාධාරය ගොවීන්ට නොමිලේ ලබාදීමට රජය රුපියල් මිලියන පනස් නවදාහක් වෙන් කෙරූ බවද අමරවීර මහතා කීවේය.
මොරගහකන්ද ජලාශය ඉදි කිරීමේ වාසිය ගොවීන්ට මේ වනවිට ලැබෙමින් පවතින බවත්, ඒ අනුව පොළොන්නරු දිස්ත්‍රික්කයේ සියලු වැව් අමුණු පිරී ඉතිරී පවතින බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පොළොන්නරුවේ තුන්වෙනි කන්නයක් ආරම්භ කිරීමේ වැඩි වාසියක් තිබෙන බැවින් ගොවීන් මුංඇට, කඩල සෝයා බඩඉරිඟු ඇතුළු අනෙකුත් භෝග වගා කිරීමෙන් ආර්ථික වාසි ලබාගැනීමේ ක්‍රමවේදයන් සකසා ගත යුතු බවත් අමාත්‍යවරයා පැවැසීය.
එම තත්ත්වය හම්බන්තොට ඉහළ මට්ටමක පවතින බවත්, එක් ගොවියකු අක්කරයකින් වැඩි වි අස්වැන්නක් ලබාගත් ගොවීන් තිදෙනකු ජනාධිපතිවරයගෙන් සම්මාන පවා ලබා ගැනීමට සමත්වූ බවද අමරවීර මහතා මෙහිදී පැවසීය.
්