පොලිස් දෙපාර්තමේන්තුවේ තේමා පාඨය වන &ධම්මේ හවේ රක්ඛති ධම්මචාරී” යන පාඨයට අනුව කටයුතු කිරීමට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව වගබලාගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.
බොරු චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් සහ වැඩ තහනමකට ලක් කිරීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාගේ මූලික මිනිස් අයිතිවාසිකම් පොලිසිය විසින්ම උල්ලංඝනය කර ඇතැයි තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව අවධාරණය කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා බොරු චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් සහ වැඩ තහනමකට ලක් කිරීමේ සිද්ධියේදී වගඋත්තරකාර පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති ආකාරය දැඩි දෝෂ දර්ශනයට ලක් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාට රු. මිලියනයක වන්දියක් මාස තුනක් තුළ ගෙවීමටද රජයට නියම කළේය.
පෙත්සම්කාර පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාට ලැබිය යුතු සියලු වැටුප් වර්ධක, දීමනා හා උසස්වීම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නනියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේරාජා මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ නඩුවට අදාළව ව්‍යාජ සාක්ෂි හඳුන්වා දුන් බව කියමින් තමා අත්අඩංගුවට ගෙන වැඩ තහනම් කිරීමෙන් හා රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කළැයි කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය.
පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, නියෝජ්‍ය පොලිස්පති ජේ.එස්.වීරසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එන්.එස්.මෙන්ඩිස්, සහකාර පොලිස් අධිකාරී සමන් කුමාර, පොලිස් කොමිසමේ සභාපති විනිසුරු ජගත් බාලපටබැඳි, එහි සාමාජිකයින් හත් දෙනා, මහජන උපයෝගිතා කොමිසමේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් සහ නීතිපතිවරයා ඇතුළු දාහත් දෙනෙකු නම් කර තිබිණ.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විභාගයේ දී රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට විරුද්ධව සාක්කි ලබා දෙන ලෙස පෙත්සම්කාර සුගත් මෙන්ඩිස් මහතාට ඉහළ පොලිස් නිලධාරීන් බලපෑම් කළත් ඔහු ශානි අබේසේකර මහතා මහතාට විරුද්ධව බොරු සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කරවනු ලැබූ බව අනාවරණය විය.
මෙම නඩුව පවරනු ලැබූ මුල් අවස්ථාවේදී පෙත්සම්කරුගේ සම්පූර්ණ වැටුප ඔහුට ගෙවන ලෙස විනිසුරු මඩුල්ල කළ නියමය අනුව මාස 4 ක කාලයක් ගතවන තුරු වගඋත්තරකාර පොලිස්පතිවරයා ඇතුළු පිරිස කටයුතු නොකිරීමේ හේතුවෙන් අධිකරණයට අපහාස කළ බවට ඔවුන්ට එරෙහිව ජනාධිපති නීතිඥ නීතිඥ විරාන් කොරයා මහතා විසින් නඩු පවරනු ලැබීය.
එලෙස නඩු පැවරීමෙන් අනතුරුව දින කිහිපයක් ඇතුළත පෙත්සම්කරුගේ සම්පූර්ණ වැටුප ගෙවනවා වෙනුවට ඔහු යළි සක්‍රීය සේවයේ පිහිටුවීමට ද පියවර ගනු ලැබූ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු වගඋත්තරකරුවෝ අධිකරණය හමුවේදී පෙත්සම්කාර සුගත් මෙන්ඩිස් මහතාගෙන් සමාව අයද සිටියහ.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විභාගයකින් අනතුරුව වගඋත්තරකරුවන් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය රාජ්‍ය නිලධාරීන්ට හා රාජ්‍ය සේවකයන්ට ස්වාධීනව හා නිදහස්ව කිරීමට අවශ්‍ය පසුබිම සලසා දීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.
පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා බොරු චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමෙන් සහ වැඩ තහනමකට ලක් කිරීමේ සිද්ධියේදී වගඋත්තරකාර පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති ආකාරය දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් පිටු18කින් යුත් තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.