පුස්සැල්ලාව පොලිස් වසමේ නයාපාන වත්ත පහළ කොටසේ 10 වසර පන්තියේ ශිෂ්‍යාවක් පොලීසියට බියේ ගෙල වැලලාගෙන සියදිවි නසාගැනීමේ සිද්ධියක් සමග එය දින තුනක් තුළ පොලීසියට බියේ ප්‍රදේශය තුළ සිදු වූ දෙවන සියදිවි නසා ගැනීම බව ගම්පොල රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා ඉදිරියේ හෙළිවිය.
මෙසේ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇත්තේ නයාපාන දෙමළ විද්‍යාලයේ විග්නේෂ්වරන් විද්‍යා නමැති සිසුවියයි.
ඇයට බාල සහෝදරයන් තිදෙනකු සිටින අතර අසල්වැසි නිවසේ ළමුන් හා මොවුන් අතර සෙල්ලම් කිරීමේ දී ඇති වුණු සිද්ධියක් වැඩිහිටි ආරවුලක් බවට පත්වීම නිසා නිවසියන් අතර අමනාපයක් හටගෙන තිබී ඇත.
පසුව නිවාස දෙක වෙන් වන ලෙස මිදුල මැදින් ඔවුන් වැටක්ද ගසා ගෙන තිබූ බව මරණ පරීක්ෂණයේදී හෙළි විය.
විද්‍යාගේ මව හා පියා නයාපාන වත්තේ සේවය කරන අතර ඔවුන් පැමිණෙන තුරු මෙම දරුවන් ඔවුන්ගේ ලොකු තාත්තගේ නිවසේ සිට ඇත.
මේ අතර විද්‍යා දැරිය ලොකු තාත්තගේ නිවසේ සිට ඔවුන්ගේ නිවසට පැමිණි අවස්ථාවක අසල්වැසි අමනාප නිවසේ දැරියක සමග රණ්ඩුවී පහරදීමක් පිළිබඳව එම නිවසේ හිමිකරු විද්‍යාගේ පියාට පැමිණිලිකොට පොලිසි යන බව පවසා තිබේ.
විද්‍යාගේ පියා මේ සම්බන්ධයෙන් ඇයට අවවාද කොට වත්තේ වැඩට ගොස් ඇති අතර පොලිසිය පැමිණෙතැයි බිය වූ විද්‍යා කිසිවකුත් නිවසේ නොමැති අතරේ කාමරයකට වැදී දොර ජනෙල් වසා මවගේ සාරියකින් මෙසේ ගෙල වැලලාගෙන තිබේ.
ඇය ගෙල වැලලා ගැනීමට පෙර පේලි කීපයකින් ලිපියක් ලියා තමාගේ මරණයට අසල්වැසියා වගකිවයුතු යැයිද සඳහන් කර තිබිය දී එය ද සොයාගෙන ඇත.
ගම්පොල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි අමිල ද මෙල් මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මෙය ගෙළ සිරවීමෙන් සිදුවූ මරණයක් බව තහවුරු කර තිබුණි.
එහිදී විද්‍යාගේ පියා වූ ආරුමුගන් විග්නේෂ්වරන් ලොකු තාත්තා වූ ආරුමුගන් වාසුදේවන් යන අය විසින්ද සාක්ෂි ලබා දෙන ලදි.
මීට පෙර පුස්සැල්ලාව පාර දෙක ප්‍රදේශයේ රජයේ ගොඩනැගිල්ලක් තුළ හැටදෙහැවිරිදි රත්නායක මුදියන්සේලාගේ සිරිපාල යන අයකුද සියදිවි නසාගෙන තිබූ තිබූ අතර එහි මරණ පරීක්ෂණ කටයුතු ද නලින් මහතා සිදුකර තිබුණි.
ගම්මිරිස් හොරකමක් සම්බන්ධයෙන් පොලිසියට බියවී සැඟවී අත්හැර දමා ඇති මෙම රජයේ ගොඩනැගිල්ල තුළට විත් වස පානය කර තිබුණි.
පරීක්ෂණයේදී හෙළි වූයේ පවතින ආර්ථික තත්ත්වය සමග සුළු සොරකම් සිදු කළ ද පොලිසියට හසු වීමට බියෙන් ඔහු සිය දිවි නසාගෙන ඇති බවයි.
පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමකුමාර මහතා මේ සම්බන්ධයෙන් පවසන්නේ මිනිසුන් දුර දිග නොබලා කටයුතු කිරීම නිසා මෙවැනි තත්ත්වයකට පත් වන බවයි. ළමුන් සම්බන්ධයෙන් මෙවැනි වරදවල් අනාවරණය වන විට එය මග නොහැර වැඩිහිටියන් එයට මැදිහත් වී ගැටලුව නිරාකරණය කරගැනීමට සහාය දැක්වීමෙන් මෙවැනි අවාසනාවන්ත සිද්ධි වලක්වා ගත හැකි බවයි.
සුරංග දිල්හාන්