කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට මහජන පීඩාවක් වන ආකාරයෙන් පිරිසක් විරෝධතාවයේ යෙදෙමින් සිටින බැවින් එය නවතා දමන ලෙසට එම උද්ඝෝෂණකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (25දා) ප්රතික්ෂේප කළේය.
උද්ඝෝෂණයේ යෙදෙන පිරිස් මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළහොත් ඒ සම්බන්ධයෙන් පොලිස් බලතල පාවිච්චි කර එය මැඩපවත්වන ලෙසත්,
මෙම උද්ඝෝෂණයට සහභාගී වන නිශ්චිත පිරිසක් නම් නොකොට කරන ඉල්ලීම් සදහා තමන්ට නියෝග නිකුත් කළ නොහැකි බවත් එම පිරිස් මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළහොත් හෝ කඩාකප්පල්කාරී ක්රියාවන් සිදුකළහොත් එයට පොලිස් බලය පාවිච්චි කරන ලෙසත් මෙහිදී මහේස්ත්රාත්වරයා පොලීසියට දැනුම් දුන්නේය.
කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණේ කිසියම් පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරියේදී උද්ඝෝෂණයේ යෙදී ඇති බවත්, මේ හේතුවෙන් එම මාර්ගයේ පදිකවේදිකාව භාවිත කරන ජනතාවට පීඩාවක් සිදුව ඇති බවයි.