අරගලය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට අලාභ හානි කිරීම වැළැක්වීමට පියවර නොගත්තැයි චෝදනා කරමින් ස්ථානමාරු කර සිටි පොලිස්ථානාපතිවරුන් පස්දෙනෙකුට ජ්‍යෙෂ්ඨත්වය අනුව වෙනත් පොලිස් ස්ථාන දීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම අද (5දා) ශ්‍රෙෂ්ඨාධිකරණයේ පෙනී සිට කරුණු පැහැදිලි කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රෙෂ්ඨාධිකරණය ඊයේ (04දා) නියම කළේය.
අදාළ පොලිස් ස්ථානාපතිවරුන් පස්දෙනාට ජ්‍යෙෂ්ඨත්වය අනුව වෙනත් පොලිස් ස්ථාන දීමට පියවර නොගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියම කළේය.අරගලය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට අලාභ හානි කිරීම වැළැක්වීමට පියවර නොගත්තැයි චෝදනා කරමින් ස්ථානමාරු කර සිටි පොලිස්ථානාපතිවරුන් පස්දෙනෙකු විසින් මෝසමක් මාර්ගයෙන් කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියම කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර සහ මුර්දු පනාන්දු යන මහත්මා මහත්මීන්ගේ සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම මෝසම සලකා බැලිණ.දන්කොටුව හිටපු පොලිස් ස්ථානාධිපති වසන්ත කුමාර, හෙට්ටිපොළ හිටපු පොලිස් ස්ථානාධිපති ආර්.එම්. වසන්ත කුමාර, දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඒ.ආර්. පෙරේරා, මීගමුව හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක රසික වත්තේගම සහ වාරියපොල හිටපු පොලිස් ස්ථානාධිපති දිනිත් තල්වත්ත යන මහත්වරුන් විසින් මෝසම මාර්ගයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණ.
අරගල සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට පහර දීමේ සිද්ධීන් වැළැක්වීමට පියවර නොගත් බවට චෝදනා කරමින් තමන් වෙනත් පෙලිස් ස්ථානවලට මාරු කිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් පොලිස් ස්ථානාධිපතිවරුන් 14 දෙනෙකු මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබූණත් ඉන් අට දෙනකුට පොලිස් ස්ථානාධිපතිධුර ලබාදීමේ කොන්දේසිය මත එම මූලික අයිතිවාසිකම් පෙත්සම් සමථයකයට පත් වී තිබිණ.
ඉතිරි පොලිස් ස්ථානාධිපතිවරුන් 05 දෙනා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සමථයකයට පත්කර ගැනීමට කැමැති වුණත් ජ්‍යෙෂ්ඨත්වය අනුව තමන්ට පොලිස් ස්ථානාධිපතිධුර ලබා දීමට පොලිස්පතිවරයා පියවර නොගත් බව සඳහන් කරමින් මෙම මෝසම ඉදිරිපත් කර තිබිණ.
පෙත්සම්කාර හිටපු පොලිස් ස්ථානාධිපතිවරුන් පස්දෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් තම සේවාදායකයන් මුලින් පෙත්සම් සමථයකට අකමැතිවී, පසුව පෙත්සම් සමථ කර ගැනීමට කැමති වූ බව කියමින් ජ්‍යෙෂ්ඨත්වය අනුව තමන්ට පොලිස් ස්ථානාධිපතිධුර ලබා දීමට පොලිස්පතිවරයා පියවර නොගත් බව දැනුම් දුන්නේය.
මේ තත්වය යටතේ පොලිස්පතිවරයා තම සේවාදායකයන්ට කිසිම සහනයක් නොදී හිරිහැර කරන්නේ යැයි කී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තම සේවාදායකයන්ට ජ්‍යෙෂ්ඨත්වය අනුව පොලිස් ස්ථානාධිපතිධුර දීමට පොලිස්පතිවරයාට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා කරුණු දක්වමින් මේ සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කර කරුණු දැක්වීමට තමන්ට උපදෙස් ගත යුතු හෙයින් ඒ සඳහා කල් දෙන්නැයි ඉල්ලා සිටියේය.
දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් පස්දෙනාට ජ්‍යෙෂ්ඨත්වය අනුව වෙනත් පොලිස් ස්ථාන දීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිට කරුණු පැහැදිලි කරන ලෙස පොලිස්පතිවරයාට නියම කළේය.
මෙම පෙත්සම කැඳවනු ලබන අද දින (5දා) ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට නියම කළ විනිසුරු මඩුල්ල මෙම සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක්ද අධිකරණ ඉදිරිපත් කිරරීමට නියම කළේය.