සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් බණ්ඩාරගම නගරයේ දී පුද්ගලයෙකුගේ ඒ.ටී.එම් කාඩ් පත රැගෙන රුපියල් ලක්ෂයක මුදලක් ලබාගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කළ බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
පයාගල ප්‍රදේශයේ පුද්ගලයකු පැල්මඩුල්ල ගම් ප්‍රදේශයේ බලා යාම සඳහා බණ්ඩාරගම නගරයේ රැඳී සිටියදී ඔහු අසලට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තමන් පොලිස් නිලධාරීන් යැයි පවසමින් හැඳුනුම්පතක් වැනි දෙයක් පැමිණිලිකරුට පෙන්වා කූඨ වංචාව සිදුකර ඇතැයි පොලිසිය කියයි
වංචාකාරී පුද්ගලයන් දෙදෙනා, එම පුද්ගලයාව ගමන් බෑගයේ ගංජා තිබෙනවාදැයි පරික්ෂා කිරීම සඳහා යැයි පවසමින් නගරයෙන් මදක් බැහැරට රැගෙන ගොස් ගමන් බෑගය පරික්ෂා කර අනතුරුව හැඳුනුම්පත ඉල්ලා ඇති අතර ඔහු හැඳුනුම්පත ලබාදීම සඳහා මුදල් පසුම්බිය අතට ගැනීමේ දී එය ලබා ගත් පුද්ගලයකු ඉතා සූක්ෂම ලෙස ඔහුගේ ඒ.ටී.එම් කාඩ් පත ලබාගෙන මෙම වංචාව සිදුකර තිබූ බව පොලිසිය කියයි
හැඳුනුම්පත පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔහුට එම ස්ථානයෙන් පිටවී යන ලෙස වංචාකාරී පුද්ගලයන් දෙදෙනා දැනුම් දී ඇති අතර විනාඩි කීපයකට පසු ඇති වූ සැකයක් මත මුදල් පසුම්බිය පරීක්ෂාකර බැලීමේදී එහි තිබූ ඒටීඑම් කාඩ් පත මෙන්ම රහස් අංකය ලියා තිබූ කුඩා කොළ කැබැල්ල ද නොමැති බවට දැනගෙන එම වංචාකාරී පුද්ගලයන් දෙදෙනා සොයා නගරය සිසාරා බැලුවද සොයා ගැනීමට නොහැකි වීමෙන් අනතුරුව පොලිසියට පැමිණලි කළ බව පොලිස් නිලධාරියෙකු කීය
තම ජංගම දුරකථනයට අවස්ථා දෙකකදී ලද කෙටි පණිවිඩ අනුව පරික්ෂා කිරීමේදී රුපියල් පන්දහසක් සහ අනු පන්දහසක මුදලක් එම කෙටි කාලය තුළ වංචාකාරී පුද්ගලයන් දෙදෙනා ලබාගෙන තිබූ බව එම පැමිණිල්ලේ සඳහන් වේ
පැමිණිලිකරුගේ ඒටීඑම් කාඩ් පත රාජ්‍ය බැංකුවකින් නිකුත් කර තිබූ එකක් බවත් වංචාකාරී පුද්ගලයන් දෙදෙනා මුදල් ලබාගෙන ඇත්තේ පෞද්ගලික බැංකුවක ඒටීඑම් කුටියකින් බවත් මූලික විමර්ශන දී හෙළි වූ බව පොලිසිය කියයි .
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී උපාලි තලගල මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලීසිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් සි රාජපක්ෂ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාත් කුමාර මහතා පරීක්ෂණ පවත්වයි