වරකාපොල පොලිස් වසමට අයත් අඹේපුස්ස ප්‍රදේශයේ නිවසක හා ඉඩමක අයිතිය උදෙසා අධිකරණයේ පවරා ඇති නඩුවකට අධිකරණය විසින් ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට නිවසේ රැඳී සිටි පිරිස පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඊයේ(27දා) රෝහල් ගත කළ බව වරකාපොල පොලිසිය පවසයි .
මෙම පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ වරකාපොල පොලිසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකි .
අම්මා සහ පිරිමි දරුවන් දෙදෙනකු මෙම ඉඩමේ නිවෙස් දෙකක ජීවත්ව සිටි අතර ඉන් බාල සහෝදරයා විවාහයක් කර ගැනීමෙන් අනතුරුව ඔහුට අයත් නිවස සහ ඉඩම විකුණා වෙනත් ප්‍රදේශයක පදිංචි ගොස් ඇත.
කාලයාගේ ඇවෑමෙන් අනෙක් නිවසේ තනි වූ මව සහ අවිවාහක වැඩිමහල් සහෝදරයා අඹේපුස්ස ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිටියදී මව මරණයට පත් වීමත් සමගම වැඩිමහල් සහෝදරයා ද කෝවිඩ් රෝගය වැළඳීම හේතුවෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි .
පසුව සිය මව සහ සහෝදරයා මිය ගිය බව දැනගත් බාල සහෝදරයා සහ ඔහුගේ බිරිඳ දරු දදෙදෙනාත් සමග නැවත අඹේපුස්ස ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට පැමිණ ඇත.
ඒ වන විට සිය වැඩිමහල් සහෝදරයා ඔහු සහ මව පදිංචිව සිටි නිවස සහ ඉඩම වරකාපොල මාහේන ප්‍රදේශයේ විහාරස්ථානයකට නීත්‍යානුකූලව පවරා තිබිණ.
පසුව ඔවුන් එම නිවසට පැමිණි බව දැනගත් හා විහාරාධිපති හිමියන් වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් දැමූ අතර එම නඩුවේ දී විහාරාධිපති හිමියන්ට අධිකරණ තීන්දුවකින් ඉඩමේ සහ නිවසේ අයිතිය හිමි විය .
එහි අයිතිය ලබාදීම සඳහා වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණයේ නිලධාරීන් පිරිසක් හා වරකාපොල පොලිසියේ නිලධාරීන් පිරිසක් ඔවුන් නිවසින් ඉවත් කිරීමට යාමේදී නිවසේ සිටි කාන්තාව සහ සහ ඇයගේ දරු දෙදෙනා පොලිස් නිලධාරීන්ට පහර දුන් බව පොලිසිය කියයි .
සිද්ධියෙන් පසු එම කාන්තාව සහ 18 හා 16 යන වයස් වල පසුවන ඇයගේ දරුවන් දෙදෙනා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ වරකාපොල පොලිසිය විසින් සිදු කරනු ලබයි.
වරකාපොල රංගන රුවන්