ජාතික පොලිස් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය තහවුරු කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුව මැදිහත්වීම පිණිස විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව අද ( 10) ප.ව 3.30 සිට ප.ව 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 19 (2) හි විධිවිධාන අනුව හදිසි පොදු වැදගත්කමකින් යුතු කරුණක් සේ සළකා මීට අදාළ යෝජනාව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ මහතා සභාව තුළදී පෙරේදා (08) කථානායකවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කිරීම සිදුවිය.
අනතුරුව මේ පිළිබඳව විපක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීමෙන් පසු ස්ථාවර නියෝග 19 (2) ප්රකාරව මන්ත්රීවරු 20 දෙනෙකුට නොඅඩු පිරිසක් නැගී සිට එම යෝජනාවට අනුග්රහය දැක්වීම සිදුවූ අතර ඒ අනුව කථානායකවරයා විසින් අදාළ අනුමතිය පළ කර සිටියේය.
ඒ අනුව අද (10) පෙ.ව 11.30 සිට ප.ව 3.30 දක්වා විවාදයට ගැනීමට ඇති පෞද්ගලික මන්ත්රී යෝජනා 8න් 7ක් පමණක් විවාදයට ගැනීමටත් අනතුරුව මෙම සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී ආණ්ඩු පාර්ශවය සහ විරුද්ධ පාර්ශවය එක්ව එකඟතාවය දක්වන ලදී.