පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ විශ්වවිද්‍යාල භූමියේ පිහිටි නිල නිවස ඉදිරිපිටට ඊයේ (10) රාත්‍රී 10 ට පමණ පැමිණ ඇති සිසුන් 300කට අධික පිරිසක් මහාචාර්යවරයාටත් ඔහුගේ පුත්‍රයාටත් නිල නිවසටත් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය විමර්ශන ආරම්භ කොට තිබේ.
හිටපු උපකුලපතිවරයාගේ පුත්‍රයා විසින් පදවනලද බව කියන මෝටර් රථයකින් විශ්ව විද්‍යාල භූමියේ නවතා තිබූ සිසුන්ට අයත් යතුරුපැදි දෙකක් අනතුරට ලක් කොට පලා ගිය බව පවසමිනුත් එම අවස්ථාවේදී ඔහු බීමතින් සිටි බවටත් චෝදනා කරමින් සිසුන් එම පහරදීම සිදු කොට ඇති බව පොලීසිය කියයි.
කෙසේ නමුත් එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වී ඇති පේරාදෙණිය පොලිසිය සිසුන් විසුරුවා හැර චෝදනාවට ලක්වී ඇති හිටපු උපකුලපතිවරයාගේ පුත්‍රයා පොලිස් බාරයට ගෙන තිබේ.
එම අවස්ථාවේදී හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමක් සිදුවී ඇති බව පවසමින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පෙරදෙනිය ශික්ෂණ රෝහලට ඇතුළත් වී ඇති අතර මහාචාර්යවරයාගේ පුත්‍රයා වන විදුර සේනාරත්න මහතාද පහරකෑමට ලක්ව පොලිස් ආරක්ෂාව යටතේ මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
ෂේන් සෙනෙවිරත්න