පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාටත් ඔහුගේ පුත්‍රයා අතුලු පවුලේ සාමාජිකයන්ට නිවසටත් පහර දීමට සම්බන්ධ වූ බවට හඳුනාගෙන ඇති සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් නියෝජ්‍ය උපකුලපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිල නිවසේ සවිකොට තිබූ ආවේක්ෂණ කැමරා දර්ශන සහ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි නිලධාරීන්ගේ තොරතුරු මත එම සිසුන් 12 දෙනා හඳුනාගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි එම සිසුන් දස දෙනාගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අහෝසි කිරීමට පියවර ගත් බවයි.
සිද්ධියට සම්බන්ධ සිසුන් තවදුරටත් හඳුනා ගනිමින් සිටින බව පැවසූ මහාචාර්යවරයා ඉදිරියේදී තවත් සිසුන් පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි විය හැකි බව ද පැවසීය.එසේ ශිෂ්‍යභාවය අහෝසි කළ සිසුන් ශාස්ත්‍ර පීඨයේ සහ විද්‍යාපීඨයේ අධ්‍යාපනය හදාරන සිසුන් බව ද මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය .
මෙම සිද්ධිය පසුගිය දෙසැම්බර් 09 වැනි දින රාත්‍රි 9:30 ට පමණ සිදුවී ඇති බව පැවසූ නියෝජ්‍ය උපකුලපතිවරයා එම සිද්ධිය සිදුවී විනාඩි 10 ක් වැනි කාලයක් තුළදි එම ස්ථානයට පැමිණි බවත් එම අවස්ථාවේදී සිසුන් 200කට අධික පිරිසක් මහාචාර්යවරයාගේ පුත්‍රයා ඉල්ලමින් කෑ කෝ ගසමින් නිවසට අලාභානි කරමින් සිටි බවද පැවසීය.
"එම අවස්ථාවේදී මා සිසුන්ගෙන් අසා සිටියා කුමක්ද විය යුත්තේ කියා. එවිට ඔවුන්ගේ ඉල්ලීම වූයේ මහාචාර්ය වරයාගේ පුත්‍රයා ඔවුන් ඉදිරියට පැමිණ දණ ගසා වැඳ සමාව ගත යුතු බවයි. නමුත් එම අවස්ථාවේ තිබුණ අවදානම් තත්ත්වය නිසා මම ඊට එකඟ වූයේ නැහැ. මගේ වසර 25ක විශ්ව විද්‍යාල ජීවිතය තුළ මෙවැනි සිදුවීමක් මීට පෙර මා දැක නැහැ . විශ්ව විද්‍යාලයේ උප කුලපති වරයෙකුට ආචාර්යවරයකුට මීට පෙර කිසිදු අවස්ථාවක මෙවැනි පහත් විදියට සිසුන් විසින් සලකා නැහැ.
මේ සිදුවීම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කීර්ති නාමයටත් විශාල කැළලක් . මෙවැනි සුළුතර ශිෂ්‍ය කණ්ඩායමක නොමනා හැසිරීම නිසා අද වන විශ්වවිද්‍යාලයේ කීර්තිනාමයට විශාල කැළලක් සිදුවී තිබෙනවා . මෙම සිද්ධියට සම්බන්ධව සිසුන්ට එරෙහිව විශ්වවිද්‍යාලය පැත්තෙනුත් නීතිය පැත්තෙනුත් දැඩිව ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා."
ෂේන් සෙනෙවිරත්න
.