දැනට මාස දෙකකට ආසන්න කාලයක් අධ්‍යයන කටයුතුවලින් තොරව වසා දමා තිබෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය අධ්‍යයන කටයුතු සඳහා නැවතත් හෙට (14දා) සිට විවෘත කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරයේ දී ඊයේ (12දා) පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක දී ඒ බව අවධාරණය කළ මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය .
“නැවත අධ්‍යනය කටයුතු ආරම්භ කිරීම සඳහා එහි අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට ලිඛිත ප්‍රතිඥාවක් දෙන ලෙස පීඨය මගින් ඉල්ලීමක් කර සිටියා. ඒ සඳහා සිසුන්ගෙන් 60% ක පමණ ප්‍රමාණයක හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා. එමනිසා පීඨාධිපතිවරයාගේ ද එකඟතාවය පරිදි යළි අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. මේ වන විටත් සිසු සිසුවියන් නේවාසිකාගාර වලට පැමිණෙමින් සිටිනවා.
විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නියෝජිතවරුන් අපට වාචිකව ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් මින් ඉදිරියට සිදු නොවීමට වග බලා ගන්නවා කියා. එසේම එම පීඨයේ ආපන ශාලාව ඇතුළු පොදු ස්ථානවල ආවේක්ෂණ කැමරා පද්ධති සවි කිරීම සිදුකොට තිබෙනවා. පසුගිය කාලයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් සිදු යළි නොවෙයි කියා අප බලාපොරොත්තු වනවා. එසේම එවැනි සිදුවීම් සිදු නොවීමට අවශ්‍ය තාක්ෂණික සහයත් අප උපරිමයෙන් ලබා ගන්නවා.
පීඨය තුළ මීට පෙර සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතිනවා. එම විමර්ශනවල දී හෙළි වීමක් සිදු වුවහොත් යම් කිසි ශිෂ්‍ය කණ්ඩායමක් හෝ සිසුන් කිහිපදෙනෙකු නීති විරෝධි කටයුත්තක යෙදී සිටියා කියා ඔවුන්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නවා.
විශ්ව විදවිද්යාලය තුළ නවක වධය කියන එක ඉතා සීමිතවයි පවතින්නේ. නවක වද පනතට අනුව විශ්වවිද්‍යාලය තුළ නවක වදය කියන දේ පවතින්න බැහැ. මේ නවක වදය නිසා නවක සිසු සිසුවියන් විශාල මානසික පීඩාවකට ලක් වී සිටිනවා. විශ්ව විද්‍යාලයට එන සිසු සිසුවියන්ට අලුතෙන් වදයක් දීමට අවශ්‍ය නැහැ. ඔවුන් ඇතිවෙන්න වධ විඳලයි විශ්ව විද්‍යාලයට පැමිණෙන්නේ. මේ යල්පැන ගිය දේවල් විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් මුලිනුපුටා දැමිය යුතුයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ 13,000 කට ආසන්න සිසුන් පිරිසක් අධ්‍යාපන කටයුතු කටයුතු වල නිරත වෙනවා. මේ සිසුන් විශ්වවිද්‍යාලය තුළට එන විට ඉතා අහිංසක සිසුන් පිරිසක්. මේ සිසුන් ඉතා අවාසනාවන්ත ලෙස යම් යම් දේශපාලන බලපෑම් නිසා අයථා වැඩවලට යොමු වෙනවා. ඒ දේශපාලන කණ්ඩායම් වලටත් වගකීමක් තිබෙනවා මේ දූ දරුවන්ගේ අනාගතය විනාශ නොකර යහමගට ගැනීමට. අපි සියලුම පාර්ශව වලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සාර්ථකව සිදු කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන ලෙස.
මහජනතාවගේ බදු මුදල්වලින් වලිනුයි විශ්වවිද්‍යාල සිසුසිසුවියන් අධ්‍යාපනය හදාරන්නේ. එම නිසා විශ්ව විද්‍යාලය තුළට දේශපාලන බලපෑම් කරන සියලු දෙනාගෙන් අප ඉල්ලා සිටිනවා එම සිසුන්ට නිදහසේ තම අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය වටපිටාව සකසා දෙන ලෙසයි.”
ෂේන් සෙනෙවිරත්න