පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරේ සිට
පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, ළමා ආරක්ෂාව, ශාරීරික දණ්ඩන හා නීතිමය පසුබිම සහ ධනාත්මක ශික්ෂණයේ වැදගත්කම පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට මැති ඇමතිවරු රැසක් සහභාගී වූහ.
මෙහිදී පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්යක්ෂ (පෙර පාසල් අධ්‍යාපන) කේ.ඩී.ටී විමලසිරි මහත්මිය අදහස් දැක්වූවාය. පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමටත්, ඒ අනුව විෂයමාලා රාමුවට අදාළව පෙර පාසල් ගුරු අත්පොතක් සහ ආදර්ශ ක්‍රියාකාරකම් පොතක් අගෝස්තු මාසයේදී ගරු අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් එලි දැක්වීමටත් නියමිත බව මෙහිදී අනාවරණය විය.
එසේම, පෙර පාසල් ගුරු පුහුණුව සඳහා ජාතික අධ්‍යාපන ආයතනය මගින් ප්‍රධාන පුහුණුකරුවන් 108 දෙනෙකු පුහුණු කිරීමටත්, ඔවුන් මගින් පළාත් මට්ටමින් තවත් පුහුණුකරුවන් 556 දෙනෙකුට පුහුණුව ලබා දීමටත් අපේක්ෂා කරන බව ඇය පැවසුවාය. ඒ අනුව දැනට හඳුනාගෙන ඇති 35000 කට ආසන්න පෙර පාසල් ගුරුවරුන්ට දින 10 ක පුහුණුවක් ලබන නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ලබා දීමට කටයුතු කරන බවටත් ඒ අනුව එකම විෂය රාමුවකට පෙර පාසල් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට හැකි වනු ඇති බවත් ඇය සඳහන් කළාය.
එසේම, පෙර පාසල් සඳහා ඇගයීම් හා නියාමන රාමුවක් සකස් කිරීමටත්, ලබන වසර වන විට පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පනතක් බවට පත් කිරීමටත් අපේක්ෂා කරන බවද මෙහිදී අනාවරණය විය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ඇතුළු පාර්ශ්ව ගණනාවකගේ දායකත්වයෙන් මෙම ප්‍රතිපත්තිය සකස් කළ බව ද ඇය සඳහන් කළාය.
\
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

