පනාගොඩ යුද හමුදා කදවුර ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක , යතුරු පැදියක යමින් සිටි පෙම්වතුන් දෙදෙනෙකු ගැටි පෙම්වතිය එම ස්ථානයේදීම මියගොස් බරපතළ තුවාල ලැබූ පෙම්වතා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව අතුරුගිරිය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මාලඹේ කහන්තොට පාරේ අංක 233/03 හි පදිංචි කෝෂණී ආලෝක්යා නමැති (25) විදේශ රැකියා ආයතනයක නියෝජිතවරියක් බව පොලිසිය කියයි.
මෙම පෙම්වතුන් දෙදෙනා පාදුක්ක ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ගොස් සිය යතුරුපැදියෙන් ගොඩගම දෙස සිට මාළඹේ දෙසට යමින් සිටියදී පනාගොඩ යුද හමුදා කදවුර ආසන්නයේ මාර්ගය අලුත්වැඩියා කරන ස්ථානයක තිබූ කඩතොළු වූ ස්ථානයක යතුරුපැදිය වැටි විසිවී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටී මෙම අනතුර වී තිබුණි.
අනතුර සිදුවීමත් සමඟ දෙදෙනා පැළඳ සිටි හිස් වැසුම් ගැලවී තරුණියගේ හිස ලොරි රථයේ ගැටීමෙන් තරුණිය එම ස්ථානයේදී මියගොස් තිබූ අතර බරපතළ තුවාල ලැබූ (27) හැවිරිදි තරුණයා ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
තරුණයාගෙ දකුණු පාදයට දකුණු අතට සහ නලලට තුවාල සිදුව ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අනතුරට පත් මෙම පෙම්වතුන් දෙදෙනා ඉදිරි දිනකදී විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි දෙදෙනකු බවත් ඊට අවශ්‍ය කටයුත්තක් සඳහා ගොස් යළි එමින් සිටියදී මෙම අනතුරට පත්ව තිබූ බවත් පැවසේ.
මියගිය තරුණියගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් හෝමාගම මූලික රෝහලේදී (07) දා සිදුකිරීමට නියමිතව තිබුණි.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ පවත්වති.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
