පෘතුග්‍රීසින් ලංකාවෙන් අරන්ගිය කෞතුක වස්තු යළි ගෙන එන්න සාකච්ඡා
පෘතුගාලයේ තිබෙන ශ්‍රී ලංකාවට අයත් පෞරාණික වටිනාකම් සහිත දෑ නැවත ලබා දීමට මූලික අධ්‍යයනයක් සිදු කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට පෘතුගාල විදේශ අමාත්‍ය Paulo Rangel මහතා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග පැවැති සාකච්ඡාවේදී එකඟතාව පළ කළ බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.
පෘතුගීසි පාලනය සමය තුළ ශ්‍රී ලංකාවෙන් ගෙන ගිය පෞරාණික වටිනාකම් සහිත දෑ නැවත ලබා දීම පිළිබඳව අමාත්‍ය විජිත හේරත් මහතා කළ යෝජනාවට එකඟතාව පළ කරමින් ඒ මහතා ප්‍රකාශ කළේ මෙය පිළිගත යුතු යෝජනාවක් බවත් මේ සම්බන්ධයෙන් මූලික අධ්‍යයනයක් සිදු කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට එකඟතාව පළ කරන බවයි.
දැනට ශ්‍රී ලංකාව සහ පෘතුගාලය අතර අත්සන් කර ඇති සංස්කෘතික ගිවිසුම බලාත්මක කර මීට අදාළ සාකච්ඡා ආරම්භ කිරීමට ද විදේශ අමාත්‍යවරුන්ගේ අවධානය යොමු වී තිබේ.
එමෙන් ම පෘතුගාලය සඳහා වීසා ලබා ගැනීමේ දී ශ්‍රී ලාංකිකයන් නවදිල්ලයට යාමට සිදුවීම හේතුවෙන් මතුව ඇති අපහසුතා මගහරවා ගැනීමට පහසු යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ද අමාත්‍ය විජිත හේරත් මහතා යෝජනා කර ඇත. මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ද ඒ මහතා එකඟතාවය පළ කර තිබේ.
දෙරටේ ඓතිහාසික සම්බන්ධතා සැළකිල්ලට ගනිමින් සංස්කෘතික හා මානව සබඳතා වර්ධනය කිරීමටත් මෙම නිල හමුවේ දී සාකච්ඡා කර ඇත.එසේම පුනර්ජනනීය බලශක්තිය ඇතුලු ආයෝජන, වෙළඳ, හා සංචාරක ක්ෂේත්‍රෙය් සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමටත් දෙරට අතර වැඩපිළිවෙලක් සකස් කිරීමට එකඟතාව පළ කර තිබේ.
සියලු ක්ෂේත්රවල සබඳතා වර්ධනය කරගැනීම සඳහා දේශපාලන සංවාද යාන්ත්‍රණයක් ඇරඹීමේ වැදගත්කම ද දෙපාර්ශවයම අවධාරණය කළ අතර කලාපීය හා ගෝලීය වශයෙන් දෙරටටම වැදගත් මාතෘකා පිළිබඳව ද සාකච්ඡා විය. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ කටයුතු කිරීමේ දී දෙරට අතර පවත්නා සහයෝගය අඛණ්ඩව පවත්වාගැනීමටත් මෙහි දී එකඟ වී ඇත.
මෙම සාකච්ඡාව අතරතුර දිත්වා සුළිකුණාටුවෙන් පසු හදිසි ආපදා සහන සැලසීම සඳහා පෘතුගාලය සිදු කළ උපකාර වෙනුවෙන් ද අමාත්‍ය විජිත හේරත් මහතා ස්තූතිය පළ කර තිබේ. එමෙන් ම නැවත ගොඩනැගීමේ කාර්යයට තවදුරටත් පෘතුගාලයේ සහාය ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වන බව ද අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන්නේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
