පූර්ණ අන්ධභාවට පත්ව සිටියදී උසස් පෙළ ලියා සරසවි වරම් හිමිකරගත් නිරෝෂන්
පූර්ණ අන්ධභාවයට පත්වූ තරුණයෙකු කිසිදු ගුරුවරයෙකු හමුවට නොගොස් ස්වෝත්සාහයෙන් අධ්‍යයන කටයුතු සිදුකර මෙවර උසස් පෙළ විභාගයෙන් A සමාර්ථ 03 ක් සහිතව කලා අංශයෙන් දිස්ත්‍රික්කයේ 31 වැනියා ලෙස සමත්වීමේ පුවතක් මාතලේ දිස්ත්‍රික්කයේ අකුරුම්බොඩ ග්‍රාමයෙන් වාර්තා වෙයි.
2016 වර්ශයේදි උසස් පෙළ විභාගය සමත්ව විද්‍යා පීඨයට ඇතුළු වීමට සුදුසුකම් ලබා සිටියදී නිරෝෂන් ධනංජය සඳරුවන් චන්ද්‍රසිරි නැමැති මෙම තරුණයා 2018 වසරේදී දෘෂ්‍යාබාධිත රෝගයකට ගොදුරුවී තිබෙන අතර එයට ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී 2024 දී පූර්ණ අන්ධ භාවයට පත්ව ඇති බව ඔහු අප සමගපැවසීය.
රෝගි තත්ත්වය සුවපත් කර ගැනීම සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට යාමේදී දියවැඩියාව ඇතුළු තවත් රෝග ගණනවකට ගොදුරුවීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු සියල්ල අත්හැර දමා සිටි නිරෝෂන් පූර්ණ අන්ධභාවයට පත්වීමෙන් පසු 2025 උසස් පෙළ විභාගයට යළි පෙනී සිටීම සඳහා සූදානම් වී තිබෙන්නේ මාස 09 ක් වැනි කෙටි කාලයකදීය.
බාධක මැද උසස් අන්ධමින් උසස් පෙළ විභාගය සමත්විම සම්බන්ඳව නිරෝෂන් ධනංජය සඳරුවන් දැක්වූයේ මෙවන් අදහසකි.
මගේ පියා සුසිල් චන්ද්‍රසිරි ගොවිතැන් හා සාමාන්‍ය රැකියාවන් කරන අතර. අම්මා අනුලා කුමාරිහාමි. මිහිරාණි ජයග්රී පුෂ්පහාරි මගේ ලොකු නංගී. පොඩි නංගී තමයි නිලුක්ෂි පබසරා. මම ඉපදුනේ 1996 දී. අධ්‍යාපනය ලැබුවේ අකුරම්බොඩ කණිෂ්ඨ විද්‍යාලයෙන්. අපේ ගමේ ශිෂ්‍යත්ව විභාගය සමත්වූ පළවෙනියා විදිහට 2006 දී මම ලකුණු 151 ක් ලබා ගනිමින් ශිෂ්‍යත්ව විභාගය සමත් වුණා. සාමාන්‍ය පෙළ විභාගයට සමත් වුණේ 2012 දී. උසස් පෙළ විභාගයට කලා අංශයෙන් 2015 දී හා 2016 දී පෙනී සිටියත් විශ්වවිද්‍යාල වරම් ලැබුණේ නෑ.
විද්‍යා පීඨයට යන්න සූදානම් වෙලා ඉන්නකොට තමයි මගේ ඇස් පෙනීම දුර්වල වෙන්න පටන් ගත්තේ. ඒ නිසා විද්‍යා පීඨයට යන්න බැරි වුණා. මේ රෝගය මුලින්ම දැනගත්තේ 2018 දී. ඇස් වලට ප්‍රතිකාර කරනකොට ඒ ඖෂධ වල බලපෑම නිසා මම දියවැඩියා රෝගයට ගොදුරු වුණා. වකුගඩු වල ප්‍රශ්න ආවා. ඔස්ටියෝපොරෝසිස් රෝගය නිසා කොන්දේ අබාධයක් ඇවිත් නැගිට ගන්න බැරි තත්ත්වයක් ඇති වුණා. ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ගැටලුවක් ඇස් පෙනීම දුර්වල වීමට හේතුවී තිබෙන බව වෛද්‍යවරු පැවසුවා. මේ නිසා ප්රතිශක්තීකරණය අඩු කරන්න බෙහෙත් දුන්නා. ඒ දවස්වල මහනුවර හා මාතලේ රෝහල් වල සායන 04 කට යන්න මට සිද්ධ වුණා. දියවැඩියාව නිසා කකුල් වල ඇතිවුණු තුවාල 04 ක් සුව කරන්න සැත්කම් 04 ක් කළා. ගොවිතැනින් හා එදිනෙදා වැඩ කරලා තාත්තා හොයන හැම සතයක්ම වියදම් කළේ මාව සුවපත් කරන්න. අම්මා සහ නංගිලා දෙන්නා මං වෙනුවෙන් විශාල කැපවීමක් කළා.
මෙලෙස ප්‍රතිකාර ලබමින් සිටියදී 2024 දී පූර්ණ අන්ධභාවයට පත්වන නිරෝෂන් දෙනෙත් සුවපත් කර ගැනීමේ උත්සාහය අත්හැර දැමුවේ ඒ නිසා තව තවත් පවුල ආර්ථිකයේ අගාධය වෙත ගමන් කරනු වලක්වා ගැනීමේ අරමුණිනි. "හොඳින් පෙනීම තිබුණු මම එක්වරම අන්ධ භාවයට පත්වීමත් එක්ක ගැටලු රැසකට මුහුණ දුන්නා.ෙගේ ඇතුළේ පවා මාව අල්ලගෙන ඇවිද්දුවේ නංගිලා දෙන්නා. මම හිතුවේ මගේ ජීවිතය ඉවරයි කියලා.
නමුත් මගේ වාසනාවට මට ශ්‍රියානි ප්‍රනාන්දු හා ස්වර්ණා කියන මැඩම්ලා දෙන්න හමුවීමත් සමඟ මගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ ගුරුවරු දෙන්නා මට ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සම්මේලනයේ මධ්‍යම පළාත් සභාපති සමන් වික්‍රමසිංහ ගුරුතුමාව හඳුන්වා දුන්නා. එතුමා තමයි කිව්වේ දෘෂ්‍යාබාධිත අයටත් ඉගෙන ගන්න අවස්ථව තියෙනවා කියලා. ඒ සඳහා මග පෙන්වමින් එතුමා මාව දිරිමත් කළා ඒ ධිරිමත් කිරිම තමා අද මම මෙතෙන ඉන්නෙ" යැයිද ඔහු පැවසුවා.
"ඇස් පේන්නේ නැති නිසා පංති වලට සහභාගි වෙන්න යන්න එන්න විදිහක් නැහැ. ඒ වෙනුවෙන් වියදම් කරන්න තාත්තටත් හැකියාවක් තිබුණේ නැහැ. අන්තර්ජාලයෙන් හා පසුගිය ප්‍රශ්න පත්‍ර වලින් තොරතුරු ලබාගෙන 2025 ජනවාරි වගේ තමයි මම නැවත ඉගෙනීම ආරම්භ කළේ. අන්තර්ජාලයෙන් ගන්න තොරතුරු නංගිලා දෙන්නා රෙකෝඩ් කරලා මට ඇහෙන්න දානවා. පොඩි නංගී තමයි ගොඩක්ම උදව් කළේ. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල තියෙන ප්‍රශ්න එයා මට ඇහෙන්න කියවනවා. මම දෙන උත්තර ලියලා පස්සේ ආයෙත් ඒවා මතක් කරලා දෙනවා. කෙටි සටහන් හදලා ඒවා රෙකොඩ් කරලා නංගී මගේ ෆෝන් එකට දානාව. මේ විදිහට තමයි මම ඉගෙන ගත්තේ.
නිරෝෂන් අධ්‍යාපන කටයුතු යළ ආරම්භ කර උසස් පෙළ විභාගයට පෙනී සිටියේ මාස 09 ක් වැනි කෙටි කාලයකදීය. මේ වනවිට 29 වැනි වියේ පසුවන ඔහු උසස් පෙළ සඳහා තෝරාගෙන තිබුණේ සිංහල, බෞද්ධ ශිෂ්ඨාචාරය හා යුරෝපා ඉතිහාසයයි. ඔහු විභාගයට පෙනී සිට තිබෙන්නේ පටිගත කිරීමේ ක්‍රමවේදය ඔස්සේය. එහිදී ඔහු වෙනුවෙන් විභාග ප්‍රශ්න පත්‍රය කියවීමට හා පිළිතුරු පටිගත කිරීම සඳහා දෙදෙනකු ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව පහසුකම් සලසා තිබිණි.
මගේ ප්‍රතිපල අනුව කොළඹ හෝ පේරාදෙණිය විශ්විද්‍යාලයට ඇතුළු වෙන්න අවස්ථාව තියෙනවා. අනාගතයේදී ගුරුවරයෙක් විදිහට වැඩ කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ජීවිතය කියන්නේ අපි හිතන දේ නෙවෙයි. අපිට ලැබෙන දේ. ඒක අපි බාරගන්න ඕන. අපිට ගොඩක් අභියෝග එනවා. ඒවට නොසැලී ඉදිරියට යන්න ඕන. උත්සහාවන්තයා ජයගනී. වයස කියන්නේ ඉලක්කමයක් විතරයි කියන කතා තිබ්බට ඒවා පොත් වලට සීමා නොකර ක්‍රියාවලට නගලා ඒ දේවල් වලින් ජීවිතය ජය ගන්න කියන එක තමයි මගේ ඉල්ලීම කියමින් නිරෝෂන් කතාව නිමා කළේ අභියෝග හමුවේ ජීවිතයෙන් පළා යන බොහෝ දෙනෙකුට යළි සිතන්නට පාඩමක් කියා දෙමිනි.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
