පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීමෙන් සාපරාධී රාජකාරි පැහැර හැරි බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ට එරෙහි නඩුව යළි ජූලි 28 වැනිදා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (30දා) නියම කළේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බළල්ලේ (සභාපති) සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
2019 අප්‍රේල් 07 වැනිදාත් 21 වැනිදාත් අතර කාලයේ ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු එහි සාමාජිකයන් පිරිසක් කොළඹ ඇතුළු නගරවල කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට ප්‍රමාණවත් හා විශ්වාශ කළ හැකි බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීමෙන් සාපරාධී ලෙස රාජකාරී පැහැර හැර පුද්ගලයන් 275 දෙනෙකුගේ මරණ සිදුකිරීම සහ 500 කට ආසන්න පිරිසකට තුවාල කිරීම මඟින් මිනීමැරීම හා මනීමැරීමට තැත්කිරීම ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 855 ක් යටතේ නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
දණ්ඩනීති සංග්‍රහයේ 102, 296 සහ 300 වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් විත්තිකරුවන් විසින් කර ඇති බව අධිචෝදනා පත්‍රවල සඳහන් කොට ඇත.නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරු අධිකරණයේ පෙනී සිටියහ.
නඩුව කැඳ වූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයකු වශයෙන් කටයුතු කළ ආදිත්‍ය පටබැඳිගේ මහතා මේ වන විට අභියාචනාධිකරණයට උසස් වී ඇති හෙයින්ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ පුරප්පාඩු විනිසුරුධුරය සඳහා අගවිනිසුරුතුමිය විසින් නව විනිසුරුවරයකු පත් කිරීමට නියමිත හෙයින්ද නඩුව වෙනත් දිනයක කැඳවන්නැයි ඉල්ලා සිටියේය.කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල නඩුව ජුලි 28 වැනිදා යළි කැඳවීමට නියම කළේය.