පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරිම වළක්වා ගැනීමට අදාළ වාර්තාවක් කඩිනමින් තමන්ට ඉදිරිපත් කරන්නැයි අගාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ධීවර ඇමැතිවරයාට උපදෙස් ලබා දී තිබේ. ඒ, ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාගේද සහභාගීත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදිය.
පුත්තලම, කල්පිටිය අවට මුහුදු තීරයේ දී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලිම හේතුවෙන් ඩොල්ෆින් හා නිල් තල්මසුන්ට හානි සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා ඉකුත් දා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්, මේ හේතුවෙන් සිදුවන පරිසර හානිය සහ සංචාරයක කර්මාන්තයට වන බලපෑම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළේය.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාද එක්ව සිටි අතර, එහිදී ඔහු අවධාරණය කළේ, තහනම් මෙවලම් භාවිතයෙන් ධීවර කටයුතුවල යෙදීම වැළැක්වීම සඳහා, ධීවර අමාත්‍යංශ නිලධාරීන් මන්දගාමී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳව කණගාටුවන බවය.
දකුණු පළාතේ මුහුදු ප්‍රදේශවල මෙවැනි නීති විරෝධී ආම්පන්න භාවිතය වැළැක්වීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, අනෙකුත් මුහුදු ප්‍රදේශවල ද නීති විරෝධී ආම්පන්න භාවිතයෙන් මසුන් මැරීම වැළැක්වීමට ප්‍රමාද වන්නේ ඇයිදැයි නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ, මෙලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා සාගර පරිසර පද්ධතියට දැඩි හානි සිදුවන අතර එය මත්ස්‍ය කර්මාන්තයේ පසුබෑමටද බලපාන බවයි. ශ්‍රී ලංකාව ආශ්රිත සාගර කලාපයේදී ඩොල්පින් මසුන් දැක බලාගැනිමට හැකි හෙයින් බොහෝ සංචාරකයින් ඒ සඳහා ම මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් ඇති නිසා මෙරට මුහුදු කලාපයේ, පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් මසුන් මැරිම සංචාරක කර්මාන්තයටත් අයහපත් ලෙස බලපාන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
මෙම ගැටළුව සමබන්ධයෙන් ධීවරයින් සමඟ සාකච්ඡා කර එමගින් සාගර පද්ධතියටත්, රටේ ආර්ථිකයටත් සිදුවන අයහපත ධීවරයින්ට පෙන්වා දී, එහිදී ඇතිකරගන්නා එකඟතාද ඇතුළත් කරමින් මෙම වාර්තාව සකස් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
මාස දෙකක් ඇතුළත මේ සඳහා පිළියම් ඇතුළත් වාර්තාව අග්‍රාමාත්‍යවරයාට බාරදෙන බව එහිදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සඳහන් කළේය. අනතුරුව එම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතය.