තම බිරිඳ රැගෙන පලාගිය බවට සැකකරන තරුණයෙකුගේ මව පැහැරගෙන විත් ඝාතනය කර ඇඹිලිපිටිය නව නගරයේ මහ පාරක් අද්දර දැමුවේ යැයි සැකකරන කොත්තු කඩ හිමියෙක් සහ ඔහුට ආධාර අනුබල දුන් බව කියන තවත් දෙදෙනෙක් සොයා ඇඹිලිපිටිය සහ සූරියවැව පොලිසි පරීක්ෂණ ආරම්භ කරයි.
නිදහස දින (04) උදේ 07.00ට පමණ ඇඹිලිපිටිය අධිකරණය සහ ආයුර්වේදය අතර මාර්ගය අයිනේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවිය. පසුව සොයා බලද්දී එය සූරියවැව, විරියගම, වටරවුම්පාරේ පදිංචිව සිටි දෙමටගොඩ ගමගේ මල්කාන්ති නැමැති පනස් අට හැවිරිදි මවකි.
ඇය ඊට පෙරදින (03දා) සවස පහත් හයත් අතර මෝටර් රථයකින් පැමිණි තිදෙනෙක් විසින් පැහැරගෙන ගිය බව ඇගේ දියණියක වන යක්දෙහිගේ නිරෝෂා උදයංගනී නැමැත්තිය විසින් පසුදින අලූයම සූරියවැව පොලීසියට පැමිණිලි කර තිබුණි.
ඝාතනයට ලක්වු කාන්තාව පැහැරගත් මෝටර් රථය ඇඹිලිපිටිය පල්ලේගම, මොරකැටිය පාරේ කොත්තු කඩයක් පවත්වාගෙන ගිය කොත්තු සම්පත් යන අන්වර්ථ නමින් හඳුන්වන පුද්ගලයෙකුට අයත් එකක් බව පොලිස් විමර්ශන වලදී අනාරවරණ වී ඇති පොලීසිය පවසයි. පැහැරගැනිමට ඔහුත් පැමිණ ඇති බවත් ඔහු සහ ඔහු සමග අපරාධයට හවුල් වු සෙසු දෙදෙනා මේ වනවිට ප්රදේශයෙන් පලාගොස් ඇති බව ද පොලීසිය කියයි.
පසුගිය කෝවිඞ් සමයේ ඇඹිලිපිටියේ දී මෙම මෝටර් රථයේ හප්පා විශේෂ බළකායේ සෙබළෙක් ඝාතනය කිරිීම සම්බන්ධයෙන් නඩුවක් මෙම සැකකාර කොත්තු කඩහිමියාට ඇති බව ද පොලිසිය සඳහන් කළේය.
මියගිය කාන්තාවගේ පුතෙක් කොත්තු කඩහිමියාගේ බිරිඳ සමග අනියම් ඇසුරක් පවත්වා ඇය සමග පලායාමට එරෙහිව පළිගැනීමට මෙම අපරාධය කරන්න ඇතැයි පොලීසිය සැකකරයි. සූරියවැව සහ ඇඹිලිපිටිය පොලීසි වැඩිදුර විමර්ශන පවත්වයි.
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්නේ ජේ නානායක්කාර