කිසියම් පිරිසක් තමා පැහැර ගෙන ගොස් සිර කර ගෙන සිටින බවට දුරකථන ඇමතුම් ලබා දෙමින්, සූක්ෂම ලෙස තම පියාගෙන් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ගෙන, එම මුදල තම පෙම්වතාට ලබා දීමට ගිය දියණියක් සහ එය සැලසුම් කල ඇගේ පෙම්වතා ඊයේ (28දා) පොලිස් භාරයට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ අනුරාධපුර හෙද විදුහලේ දැනට පාඨ මාලාවක් හදාරන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් සහ ඇගේ පෙම්වතා වන හෙද පාඨමාලාව අවසන් කළ අනුරාධපුර නගරයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය කියයි.
සැකකාර පෙම්වතාගේ මව විසින් ලබා දුන් ලක්ෂ 15 ක මුදලකින්, එප්පාවල ප්‍රදේශයේ පොල් ඉඩමක් මිලදී ගැනීමට සූදානම්ව, එම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී ඔහු ජාවාරම්කරුවෙකුට රැවටී ලක්ෂ 15 ක මුදල ලබා දී නිධානයකින් ලබා ගත් රත්තරන් යැයි කියා, රන් පැහැ ගැන්වූ ව්‍යාජ යකඩ කැබලි තොගයක් මිලදී ගෙන ඇතැයිද පොලිසිය කියයි.
ජාවාරම් කරුවන්ට ලබා දුන් රුපියල් ලක්ෂ 15 ක මුදල කෙසේ හෝ සොයා ගැනීමට මෙම පෙම් යුවල සැලසුම් කරමින් සිටියදී, මෙම සැලසුම ක්‍රියාත්මක කර, සිසුවිය තම නිවසින් පිටව ගොස් සැඟවී තිබෙන අතර ඉන් පසුව පෙම්වතා විසින්, ඇගේ පියාගෙන් කප්පම් මුදල් ඉල්ලා ඇති අතර ලබා නොදුනහොත් දියණිය මරා දමන බවට ද ප්‍රකාශ කර ඇතැයිද පොලීසිය සඳහන් කළේය.
බියට පත් වූ එම හෙද සිසුවියගේ දෙමාපියන් මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර, පසුව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පොලිස් කණ්ඩායමක් වහා ක්‍රියාත්මක වී දීර්ඝ ලෙස කරුණු විමර්ශනයක් සිදු කර, කරුණු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව සැඟවී සිටී මෙම හෙද සිසුවිය සහ ඇගේ පෙම්වතා තම භාරයට ගෙන තිබේ.
ඉන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී නැති වූ ලක්ෂ 15 ක මුදල කෙසේ හෝ ලබා ගැනීමේ, දෙදෙනා විසින් සැලසුම් කර මෙම ව්‍යාජ රංගනය සිදු කර ඇති බව ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය.
පසුව පොලිසිය, මෙම හෙද සිසුවියගේ සහ පාඨමාලාව අවසන් හෙද සිසුවාගේ දෙමව්පියන් පොලිස් ස්ථානයට කැඳවා තිබූ අතර එහිදී දෙපාර්ශවයේ දෙමාපියන් විසින් දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු ගැන සිතා මෙය, සමථයකට පත් කර දෙන ලෙස පොලිසියෙන් දැඩි ලෙස ඉල්ලීම් සිදු කර ඇති අතර ඒ අනුව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිසිය භාරයේ සිටි ඔවුන් දෙදෙනා මුදා හැර තිබුණි.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් විමර්ශන සිදු කර මෙම සිදුවීම අනාවරණය කර ගෙන තිබුණි