පවතින සහල් තොග එළඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙනතුරු ප්‍රමාණවත් බැවින් පිටරටින් සහල් ගෙන්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ගොවියන්ට අවශ්‍ය පොහොර වර්ග තුනම නිසි වේලාවට ලබාදීම සහ මූල්‍ය සහන ලබාදීම හේතුවෙන් පසුගිය මහ කන්නය සාර්ථක වූ බවත්, නියඟය නොමැති අනෙක් පළාත්වලින් ඉහළ අස්වැන්නක් ලැබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කර සිටියේ, “කෘෂි කාර්මික අංශය නවීකරණය කිරීම සහ එහි අභියෝග” මැයෙන් ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අංශය විසින් ජනාධිපති කාර්යාලයේදී සංවිධානය කර තිබූ විද්වත් හමුව අමතමිනි.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
"වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය බාර ගන්නා විට තිබූ ලොකුම අභියෝගය වූයේ උද්ඝෝෂණ භූමියෙන් ගොවියා නැවත ගොවි භූමිය වෙත ගෙන ඒමයි.
ඒ වනවිට වගා කටයුතු ආරම්භ වී තිබුණා. හෙක්ටයාර 275,000ක් වගා කිරීමට සැලසුම් කර තිබුණත් පොහොර තිබුණේ නෑ. අනවශ්‍ය ලෙස ජනතාව බිය වද්දන බවට ඇතැමුන් චෝදනා කළද, ආහාර හිඟයක් ඇති වන බව අප මෙන්ම ජාත්‍යන්තරයද ප්‍රකාශ කළා.
කෙසේ හෝ ගොවියා යළි ගොවි බිම වෙත යොමු කිරීමට අපට හැකි වුණා. ඒ අනුව වසර 10කට පසු යල කන්නයේදී හෙක්ටයාර 512,000ක් වගා කිරීමට අවස්ථාව ලැබුණා. ඉන්පසු මහ කන්නයේදී හෙක්ටයාර ලක්ෂ 08කට ආසන්න ප්‍රමාණයක් වගා කළා. එම වසරේදී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ08ක් අප රටින් ගෙනාවා. නමුත් මේ වසරේදීත් ඒ අයුරින් සහල් ගෙන්වීමට සිදුවුවා නම්, විශාල ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවෙනවා. මොකද මේ වනවිට ඉන්දියාව සහල් අපනයනය තහනම් කර තිබෙනවා.
කෙසේ වුවත් මහ කන්නයේ සාර්ථකත්වය, පොහොර වර්ග තුනම නිසි වේලාවට ලබාදීම සහ මූල්‍ය සහන ලබාදීමත් හේතුවෙන් එළඹෙන මහ කන්නයේ අස්වැන්න ලැබෙනතුරු අප සතු සහල් ප්‍රමාණවත් වෙනවා.
ඒ වගේම මේ වනවිට පවතින නියඟය හේතුවෙන් අක්කර 75,000ක් පමණ විනාශ වී තිබෙනවා. නමුත් නියඟය නැති අනෙක් පළාත්වල අස්වැන්න ඉතා ඉහළයි. ඒ නිසා පිටරටින් සහල් ගෙන ඒමේ කිසිදු අවශ්‍යතාවක් නෑ.
මේ දිනවල වී සහ සහල් මිල ඉහළ යාම දකින්න ලැබෙනවා. එය පාලනය කළ යුතුයි. කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස වී මිල ඉහළ යාම හොඳ තත්ත්වයක් ලෙස මා සැලකුවත් එයින් පාරිභෝගිකයා අපහසුතාවට පත් වීමට ඉඩ තැබිය නොහැකියි.
එම නිසා වී සහ සහල් මිල පාලනය සඳහා සුදුසු යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. අප සතු සීමිත භූමි ප්‍රමාණයෙන් වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා ගැටලු විසඳා ගනිමින් කටයුතු කළ යුතුයි.
ගොවීන් නිසි ලෙස දැනුවත් නොවීම මෙහිදී ගැටලුවක් ලෙස අප හඳුනාගෙන තිබෙනවා. විවිධ දේශපාලන මත දරන ගොවි නායකයන් නිවැරදි දැනුම ගොවීන්ට ලබාදීමට කටයුතු නොකරන බව දකින්න ලැබෙනවා. කෙසේ වෙතත් දේශපාලනයකින් තොරව ගොවි ජනතාව අතරට නිවැරදිව පණිවිඩය ගෙන ගිය හම්බන්තොට දිස්ත්‍රික්කය මෙවර ඉහළ වී අස්වැන්න ලබාගෙන තියෙනවා.
නිවැරදි බීජ වී පිළිබඳ පණිවිඩය ගොවීන් අතරට ගෙන නොගියොත් ඉදිරි සියලු කටයුතු අසාර්ථක බව කිවයුතුයි. එසේම නවීන තාක්ෂණය භාවිතය සහ එහි ප්රතිලාභ පිළිබඳ පණිවිඩය ගොවීන් අතරට ගෙන යා යුතුයි. මේ සියල්ල නිවැරදිව සිදු වුවහොත් අප සතු කුඹුරුවලින් අතිරික්ත සහල් ප්‍රමාණයක් ලබාගැනීමේ හැකියාව පවතිනවා" යැයිද ප්‍රකාශ කළේය.