ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තායතන වල සේවකයින් සහ උක්ගස් සපයන ගොවීන්ට අලුත් අවුරුද්ද වෙනුවෙන් දෙන දිරිදීමනා වැඩි කිරීමට පාලනාධිකාරිය පියවරගෙන ඇතැයි ලංකා සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමන් අමරකෝන් මහතා පැවසීය.
පැල්වත්ත සීනී කර්මාන්තශාලාවේ සේවකයෙකුට රුපියල් හතළිස්පන්දහසක දිරිදීමනාවක්ද සෙවනගල සීනි කර්මාන්තායතනයේ සේවකයෙකුට රුපියල් අනූපන්දහසක දිරිදීමනාවක් ලබාදීමටත් ගොවීන් සැපයූ උක් මෙට්‍රික්ටොන් එකක් සඳහා රුපියල් තුන්සියයක දිරිදීමනාවක් ලබාදීමටත් කලින් තීරණයකර තිබිණි.
එම තීරණය වෙනස්කළ බව පැවසූ ඒ මහතා සෙවනගල සේවකයින්ට රුපියල් ලක්ෂ එකහමාරක දිරිදීමනාවක්ද පැල්වත්ත සේවකයෙකුට රුපියල් ලක්ෂයක දිරිදීමනාවක්ද පැල්වත්ත සීනි සමාගමට උක්ගස් සැපයූ ගොවීන්ට උක් මෙට්‍රික්ටොන් එකකට රුපියල් හාරසියයක දීමනාවක්ද සෙවනගල සීනි කර්මාන්තායතනයට උක්ගස් සැපයූ ගොවීන්ට ඉක්මනින් උක් මෙට්‍රික්ටොන් එකකට රුපියල් පන්සියයක දීමනාවක්ද ගෙවන බව සඳහන් කළේය.
පැල්වත්ත සීනි කර්මාන්තායතනයේ සේවකයින් 4,423 දෙනෙකුට රුපියල් හතලිස්හතරකෝටි විසිතුන්ලක්ෂයක්ද සෙවනගල සීනි කර්මාන්තායතනයේ සේවකයින් 1,200 දෙනෙකුට රුපියල් කෝටි දහඅටක්ද පැල්වත්ත සහ සෙවනගලට උක්ගස් සැපයූ ගොවීන්ට රුපියල් විසිඅට කෝටියක්ද මෙලෙස ගෙවීමට නියමිතය. මෙම දිරිදීමනා අප්‍රේල් මස තුන්වෙනි දින ගොවීන්ට සහ සේවකයින්ට ලබාදේ.
මොනරාගල සුමනසිරි ගුණතිලක