දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ පෙරේදා 16 රාත්‍රී සිදුවූ අනතුරු රැසකින් වාහන 26 කට ආසන්න සංඛ්‍යාවකට අලාභ සිදු වී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
අලාභ වු වාහන අතර මෝටර් රථ 22කට ආසන්න ප්‍රමාණයක් වන බව පොලිසිය සඳහන් කරයි. අධිවේගී මාර්ගය ආරම්භ කිරීමෙන් අනතුරුව පැයක පමණ කාලයක් තුළදී එකම ප්‍රදේශයක සිදුවූ වැඩිම අනතුරු සංඛ්‍යාව මෙය බව උසස් නිලධාරියෙක් කීය.
අනතුරට පත් බහුතරයක් වාහන සිංහල අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගොස් යළි කොළඹ පැමිණෙමින් සිටින පිරිස් රැගත් ඒවා බව පොලිසිය කියයි.
මාතර දෙස සිට කොළඹ බලා ගමන් ගත් එම වාහන කිලෝමීටර් 32 හා 35 දොඩම්ගොඩ ප්‍රදේශයේ තැන තැන සිදු වූ අනතුරු හයකින් මෙම අලාභ සිදු වී ඇත
සිදු වු අනතුරුවලින් කිසිවෙකුටත් තුවාල හෝ අධිවේගී මාර්ගයෙහි දේපළවලට අලාභ සිදු වී නැති අතර බහුතරයක් වාහනවල ඉදිරිපස සහ පිටුපස ප්‍රදේශවලට අලාභ සිදුවී ඇත.
වාහන අතර පරතරයක් තබාගෙන ධාවනය නොකිරීම හේතුවෙන් මෙම අනතුරු සියල්ල සිදුවී ඇතැයි එම පොලිස් නිලධාරියෙක් කීය.
එම වාහන සියල්ලම ගැලනිගම රථ වාහන පාලන මධ්‍යස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අනතුරේ විස්තර ඇතුලත් ලිපි ලේඛන වාහන රියදුරන්ට ලබා දී පිටත් කර හැරීමට ඊයේ රාත්‍රියේ දීම කටයුතු කර තිබිණි.
