මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බලපිටිය දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (17) අලුයම් කාලයේදී වසා තිබූ දුම්රිය ගේට්ටුවත් කඩාගෙන ගිය ත්රීරෝද රථයක් ධාවනය වෙමින් තිබූ දුම්රියක හැපී තීරෝද රථ රියදුරු මියගොස් ඇති බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බලපිටිය හීනටිය කොළනිය පදිංචි නාමල් සොයිසා නමැති හතලිස් හැවිරිදි විවාහක අයෙක් බවද පොලීසිය කියයි. කොළොන්නාවේ සිට ගාල්ල දෙසට ධාවනයවූ තෙල් ප්රවාහනය කරමින් තිබූ දුම්රිය මෙම ත්රි රෝද රථය ගැටී තිබේ.
බලපිටිය නගරයට කුලී ගමනක් ගොස් ආපසු බලපිටියේ සිට බලපිටිය හීනටියේ කොළණිය ප්රදේශයේ සිය නිවස බලා එමින් සිටියදී මේ අනතුරට ලක්වි ඇති බව ද පොලීසිය කියයි.
මීට අමතරව මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අහුන්ගල්ල මිද්දරමුල්ල ප්රදේශයේදි අද (17දා) උදේ සිදුවූ තවත් දුම්රිය අනතුරකින් තරුණයකු මිය ගිය බව ද අහුන්ගල්ල පොලීසිය කියයි.
ගාල්ල සිට කොළඹ දක්වා ධාවනයවූ දුම්රියක මේ තරුණයා අලුයම 5.30ට පමණ ගැටී ඇති බවත් මිය ගිය තරුණයා අහුන්ගල්ල,මිද්දරමුල්ලේම පදිංචි විසිපස් හැවිරිදි අයෙක් බවත් පොලීසිය කියයි.
මෙය පැය පහක් ඇතුලත මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අහුන්ගල්ල පොලිස් බල ප්රදේශයේදී දුම්රිය අනතුරු දෙකකින් සිදුවූ දෙවැනි මරණය වේ
මේ දුම්රිය අනතුරු දෙක පිළිබදව අහුන්ගල්ල පොලීස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද කන්නන්ගර මහතා ඇතුලු නිලධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත
