විදේශ රැකියාවලට යෑම සඳහා නියෝජිත ආයතනවලට මුදල් සහ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා නියෝජිතායතනයේ නීත්‍යනුකුලභාවය තහවුරු කරගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එසේත් නොමැති නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස අදාළ තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය දැනුම් දෙයි.
ශ්‍රි ලාංකිකයන් රැකියා සඳහා යොමු කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රැකියා නියෝජිතායතන වෙත ලබාදෙන බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය විදේශ රැකියා ඒජන්සි ආයතනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීහු පසුගියදා වැටලීම් සිදු කළේය.
ඩුබායි රාජ්‍යයේ රැකියාවක් ලබාදීම සඳහා තිරුක්කෝවිල් ප්‍රදේශයේ තරුණයෙකුගෙන් රුපියල් 450,000ක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදීම හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.
එම ස්ථානය වටලන අවස්ථාවේදී තරුණියන් දෙදෙනෙකු සේවයේ යෙදී සිට ඇති අතර, ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන මුදාහැර ඇත. පසුව දෙසැම්බර් 27වැනිදා මෙම රැකියා නියෝජිතායතනයේ හිමිකරු හා කළමනාකරු, විශේෂ විමර්ශන අංශයට පැමිණ භාරවී ඇති අතර, ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන එදින තලංගම පොලීසියේ රඳවා තබා පසුදින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහරින ලද අතර, තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචි තරුණයාගෙන් ලබාගත් රුපියල් 450,000ක මුදල වාරික දෙකකින් ඔහුට ආපසු ගෙවන ලෙසට නියෝග කර විදේශ ගමන් තහනමක්ද පනවන ලදී. වැඩිදුර නඩු විභාගය ජනවාරි මස 23වැනිදා පැවැත්වීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙම ආයතනයට එරෙහිව තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින අතර දැනටමත් පැමිණිලි අටක් ලැබී ඇත.
මෙම වැටලීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ එම්.කේ. සුමනවීර, නාලක මාමල්ගහ, ශ්‍රීනිකා කරුණාරත්න, එම්.සී. ජානකී යන නිලධාරීහු එක්වූහ.