පාස්කු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් අයකරගත් මුදල්වලින් රුපියල් කෝටි 31 කට අධික මුදලක් ප්‍රහාරයේ වින්දිතයන් 661 දෙනෙකු සඳහා මේ වන විට වන්දි වශයෙන් ගෙවා අවසන් කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (21දා) දැනුම් දුන්නේය.
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමට එරෙහිව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව වගඋත්තරකරුවන්ගෙන් අය කරගත් මුදල්වලින් මෙලෙස වන්දි ගෙවා ඇති බවද එය අයකර ගත් වන්දි මුදලින් සියයට 99.78ක් බවද නීතිපතිවරයා වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
හානි පූර්ණ කාර්යාලයට ලැබණු වන්දි මුදල් ගෙවා ඇති ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය එසේ දැනුම් දුන්නාය.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්මා මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලිණ.
පෙත්සම කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය කරුණු දක්වමින් පාස්කු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අනුව රුපියල් මිලියන 311ක වන්දි මුදලක් හානි පූර්ණ කාර්යාලයට ලැබුණු බව සඳහන් කළාය.
එම මුදලින් රුපියල් මිලියන 310ක මුදලක් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් 661ක් සඳහා මේ වන විට ගෙවා ඇතැයිද බැංකු ගාස්තු වශයෙන් රුපියල් 180,000/ක් වැය වී ඇතැයිද වන්දි මුදලින් රුපියල් 581,000/-ක් මේ වන විට හානි පූර්ණ කාර්යාලයේ ඉතිරිව ඇතැයිද සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය එම කරුණු ඇතුළත් වාර්තාවද අධිකරණයට ඉදිරිපත් කළාය.
අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල පෙත්සම්කරුවකු වන කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරුන් පෙන්වා දුන්නේ මෙම වන්දි ගෙවීම් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව හානිපූර්ණ කාර්යාලය එම කටයුතු ඉතා හොඳින් කළේ යැයි කීහ.
ඊට අදාළ සාකච්ඡාවක් ඉකුත් අප්‍රේල් මාසයේදී පැවති අතර මෙම වන්දි ගෙවීමේ කටයුතු සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් වන බවද පැවසූ ජනාධිපති නීතිඥවරුන් වන ශමිල් පෙරේරා සහ සංජීව ජයවර්ධන යන මහත්වරු පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව දීමෙන් අනතුරුව මෙම වන්දි ගෙවීමේ කටයුතු ගැන සොයා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා අනර්ඝ කටයුත්තක් කළ බව පවසමින් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෞරව පුද කළහ.එම කටයුතුවලදී සහාය පළ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියටද ස්තුතිය පළ කළහ.ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම් අවසන් කිරීමට තීරණය කළේය.