පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වගකීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බැහැර විය හැකි බවට එම ප්‍රහාරය සිදු වු අවස්ථාවේ නොසිතු සේම වර්ථමානයේද සිතන බවත්, එය ආණ්ඩුවේ ස්ථාවර බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසීය.
වාචික පිළිතුරැ අපේක්ෂාවෙන් අද (13දා) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් - පාස්කු ප්‍රහාරය සම්බන්ධ ප්‍රශ්නයක් තමයි මම අහන්නේ. ලබන අප්‍රේල් මාසය වන විට පාස්කු ප්‍රහාරය සිදු වෙලා මේ රටේ අවුරුදු 4ක් වෙනවා. මේ වගේ ප්‍රශ්නයක් අහද්දි තවත් සති 2ක කාලයක් ඉල්ලනවා. අද ප්‍රශ්න අහන්නම දාපු දිනයක්. අද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඇතුළු තමුන්නාන්සේලාගේ රජය බොහෝම උණන්දුයි. අනිත් එක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට චෝදනා කරන්න, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිට චෝදනා කරන්න තමුන්නාන්සේලාගේ ආණ්ඩු පක්ෂය මීට කලින් මේ කාරණය බොහොම පැහැදිලි ලෙස පාවිච්චි කළා. රනිල් වික්‍රමසිංහ මහතා තමුන්නාන්සේලාගේ පැත්තට ඇවිල්ලා සුරක්ෂිතව කන්ද උඩ ඉන්න නිසාත්, තවදුරටත් මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ දේශපාලනික හතුරෙක් වෙන නිසාත් මේ ප්රශ්නය තව තව දිග්ගස්සනවාද කියලා තේරෙන්නේ නෑ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් - අපි මුල ඉදලම දරපු ස්ථාවරය තමයි පාස්කු ඉරිදා සිද්ධිය වෙද්දි රටේ ජනාධිපති, ආරක්ෂක ඇමති, සේනාධිනායකයා, පොලීසිය විෂය භාර ඇමති එක පුද්ගලයෙක්. ඒ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමාට ඒ වගකීමෙන් බැහැර වෙන්න පුළුවන් කියල අපි එදා හිතුවෙත් නෑ. අද හිතන්නෙත් නෑ. ඒක තමයි අපේ ස්ථාවරය.