පාස්කු ප්‍රහාරය ගැන පූර්ණ දැනුවත්භාවය තිබුණ බවට සාක්ෂි ඇති නිසා සලේව අත්අඩංගුවට ගත්තා
ජාත්‍යන්තර සම්මුතීන් හා නීති රීතිවලට අනුව ඉදිරියේදීත් මානුෂීය ක්‍රියාවන් සිදුකරන බවත්, හිටපු බුද්ධි ප්‍රධානියා පාස්කු ප්‍රහාරය සම්බන්ධව පූර්ණ දැනුවත්භාවයක් තිබූ බවට සාක්ෂි ලැබීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මත්ද්‍රව්‍ය රට තුළින් තුරන් කිරීම සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයකට අනුව, රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ස්ථාපනය කිරීමේ වැඩසටහනට ඊයේ (08) සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, රටේ පවතින ජාත්‍යන්තර සම්මුතීන් හා නාවික නීති රීති අනුගමනය කරමින් නොබැඳි පිළිවෙතක් සහිතව ඉරාන නාවිකයින් සම්බන්ධයෙන් කටයුතු කළ බවයි. ඉදිරියටත් එවැනි තීන්දු තීරණ ගන්නා බවත්, එමගින් කිසිදු පාර්ශවයකට සහාය දැක්වීමක් හෝ පීඩාවක් ඇති වන ආකාරයට කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා පැවසීය. මානුෂිකත්වය පදනම් කරගනිමින් ජාත්‍යන්තර නීති රීති අනුව මුදවා ගනු ලැබූ එම කණ්ඩායමට මාසයක පමණ කාලයක් සඳහා සහන වීසා ලබාදී මානුෂීය රැකවරණය ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
රටේ ජනතාවගේ ආරක්ෂාවත් ජාතික ආරක්ෂාවත් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ආණ්ඩුව සැලකිලිමත්ව කටයුතු කරන බැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බවත්, ගෝලීය වශයෙන් ඇතිවන යුදමය තත්ත්වයන් හමුවේ වක්‍ර බලපෑම් ඇතිවුවද ජාතික ආරක්ෂාව මුල්කොට සලකන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
හිටපු බුද්ධි ප්‍රධානී "සලේ" මහතාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් සිදුකළ පරීක්ෂණවලට අනතුරුව ඒ මහතා අත්අඩංගුවට පත් වූ බවයි. එම විමර්ශන කටයුතු විනිවිදභාවයෙන් හා සාධාරණව සිදු වෙමින් පවතින අතර, දැනට සිදුකළ විමර්ශන අනුව හිටපු බුද්ධි ප්‍රධානියාට පාස්කු ප්‍රහාරය සම්බන්ධව පූර්ණ දැනුවත්භාවයක් තිබූ බවට සාක්ෂි ලැබී ඇති බවත්, ඒ අනුව ඔහු වැරදිකරුවෙක් ද නැද්ද යන්න අධිකරණ ක්‍රියා මාර්ග හරහා තීරණය වන බවත් ඔහු පැවසීය. විපක්ෂයේ කණ්ඩායම් විවිධ ප්‍රකාශ සිදුකළද, විමර්ශන සඳහා අවශ්‍ය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හා රඳවා ගැනීමට පොලිසියට හැකියාව පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ වූ මෙම වැඩසටහනට අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
