ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපති ධුරයට ඉතාම සුදුසු පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරා ගැනීම තම පාර්ශ්වය විසින් ගන්නා ලද නිවැරදි තීරණයක් බවට තමන් සිතන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
එසේම තමන් රාජ්‍ය පාලනය නොකරන නමුත් දේශපාලනයේ සිටින බව සඳහන් කළ ඒ මහතා 'පාර්ලිමේන්තුවට එන්න බැරි වීම සතුටක්' යැයිද පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පිහිටි එම මාධ්‍ය මධස්ථානය ආරම්භ කර සිවු වසරක් සපිරීම නිමිත්තෙන් අද (05දා) එය සැමරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
ඒ අනුව එහිදී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ, මැතිවරණය යනු එක්තරා ආකාරයක ජනතා කැමැත්තක් වන බවත්, එම කැමැත්ත දිනාගැනීම සඳහා පක්ෂයක් ලෙස උත්සාහ දරන බවත්ය.
මීට අමතරව 'වෙනස්ව හිතන්න - බිය නොවන්න' යනාදී පක්ෂයේ පාඨයන් මේ වනවිට සීමාව ඉක්මවා ගොස් ඇති බවක් දක්නට ලැබෙන බව පැවසූ ජාතික සංවිධායකවරයා, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා තවමත් පක්ෂයේ නිල සභාපතිවරයා වන බවද පෙන්වා දුන්නේය.
"බලාපොරොත්තු වුණේ හැටනව ලක්ෂයක් ඡන්දය දීලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා ඉල්ලා අස්වුණා. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයෙක් තෝරා ගන්න ඕනේ. ඒ වෙලාවේ අපි තීන්දු කළා ඉතාම සුදුසු පුද්ගලයා ඒ සඳහා තෝරා ගන්න. ඒ තෝරා ගැනීම නිවැරදියි කියලා මට හිතෙනවා දැන්" යනුවෙනි.