නියෝජ්‍ය කතානායක, අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථායේදී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර (ස.ජ.බ) මහතා මතුකළ ප්‍රශ්නයක් නිසාවෙන් පාර්ලිමෙන්තුවේ උණුසුම් බවක් ඇතිවිය.
එය පාලනය කිරීමට නියෝජ්‍ය කතානායකවරයාටද මැදිහත්වීමට සිදුවිය. ඉන් අනතුරුව සභාව කල්තැබීමට සිදුවූ අතර පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර හා වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන් සභාවෙන් ඉවත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර (ස.ජ.බ) - ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අගමැතිතුමා මේ වෙලාවේ සභාවේ ඉන්න එකගැන සතුටු වෙනවා. මේ ප්‍රශ්නයට ඔබතුමාගෙන්ම උත්තර ලැබෙනවනම් හොඳයි. ගරු අගමැතිතුමනි, ප්‍රාදේශීය සභාව කියන්නේ රාජ්‍ය ආයතනයක්. ඒ නිසා කිසිම දේශපාලන පක්ෂයකට සභාව තුළ මහජන දින තියන්න බැහැ.
අපිත් ආණ්ඩු පක්ෂයේ ඉඳල තියෙනවා. හැබැයි කවදාවත් ප්‍රාදේශීය සභාවක මහජන දින තියල නැහැ. නමුත් රාජ්‍ය අමාත්‍යවරයකු වන ශාන්ත බණ්ඩාර මහතා 21 වැනි සඳුඳා බිංගිරිය ප්‍රාදේශීය සභාවේ මහජන දිනය පවත්වනවා. 20 වැනිදා නාරම්මල ප්‍රාදේශීය සභාවේ මහජන දිනය පවත්වනවා. බිංගිරිය ආසන බලමණ්ඩලයට සහභාගීවූණ අයට තේ දෙන්නේ බිංගිරිය ප්‍රාදේශීය සභාවේ.
(සභාවේ කෑකෝ ගැසීම්)
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග ( ශ්‍රී.පො.පෙ) - ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි 10.30න් පසුව කිසිම ඇමතිකෙනෙක් ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ. ඔබතුමා කැමති දෙයක් කරගන්න. සමහරු මෙතන නවකතා කියවනවා වගේ කතාකරනවා. ඔබතුමත් ඒවට ඉඩ දෙනවා.
නියෝජ්‍ය කතානායක, අජිත් රාජපක්ෂ (ශ්‍රී.පො.පෙ) - ගරු මන්ත්රීවරුනි, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා මතුකරපු විදියට ප්‍රශ්න අහන්න මතුකරපු කාලය පැයයි. දැන් ඒ පැය ගතවෙලා තියෙන්නේ. ඒ නිසා අනවශ්‍ය විදියට කාලය නාස්තිකරන්න එපා. ඊළඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි මේ ගැන අවධානය යොමු කරල ඒ තීරණය සභාවට දැනුම් දෙන්න කියල කතානායකතුමාට දැනුම් දෙනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ මහතා- කිසිම සම්බන්ධයක් නැති ප්‍රශ්න අහන්නේ.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර (ස.ජ.බ)- මට ප්රශ්නය අහන්න දෙන්න.
(සභාවේ කෑ කෝ ගැසීම්)
නියෝජ්‍ය කතානායක, අජිත් රාජපක්ෂ (ශ්‍රී.පො.පෙ) - ඔබතුමාට ඔය විදියට හැසිරෙන්න දෙන්න බැහැ. කරුණාකර මේ ගරු මන්ත්‍රීතුමා සභාවෙන් ඉවත්කරන්න.
(සභාවේ කෑ කෝ ගැසීම්)
නියෝජ්‍ය කතානායක, අජිත් රාජපක්ෂ (ශ්‍රී.පො.පෙ) - ගරු මන්ත්‍රීතුමන්ලා ආසනවලට ගිහිල්ලා වාඩිවෙන්න. විපක්ෂනායකතුමා, ඔබතුමාගේ මන්ත්‍රීවරුන් වාඩිකරවා ගන්න. මෙහෙම මන්ත්‍රීවරු කලෑවලත් ඉන්නවා.
(සභාවේ දිගටම කෑ කෝ ගැසීම්)
නියෝජ්‍ය කතානායක, අජිත් රාජපක්ෂ (ශ්‍රී.පො.පෙ) - සභාවේ කටයුතු විනාඩි 10කට අත්හිටුවනවා.
(විනාඩි 10ට පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව යළි රැස්වේ.)
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ(ශ්‍රී.පො.පෙ)- ගරු කතානායකතුමනි, අපි මන්ත්‍රීවරුන් 13 දෙනෙකුගෙ කණ්ඩායමට වෙන්වෙලා තියෙන්නේ විනාඩි 14යි. ඒක මම සහ වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා අතර විනාඩි 7 බැගින් බෙදාගෙන තිබෙනවා. සභාව කල්තැබීම විසින් විනාඩි 10ක් නාස්ති වුණා. ඒක විනාඩි 7 බැගින් තියෙන මන්ත්‍රීවරුන්ගෙන් අල්ලන්න එපා. ඊට වඩා වැඩි කාලයක් තියෙන අයගෙන් ඒ කාලය අල්ලන්න.
ගැලරියේ පාසල් ළමුන්, ජපන් ජාතිකයන් හිටියා. ඒ නිසා මෙතන වෙච්ච දේ සෝබන නැහැ. ප්‍රශ්න වලට වෙන්කරන්නේ පැයනම්, ඒ පැය ඇතුළත කතාකරල, ඉතුරු ප්‍රශ්න ටික ඊළඟට ගනිමු. එහෙම ක්‍රමවේදයකට යමු.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග ( ශ්‍රී.පො.පෙ) - ගරු කතානායකතුමනි, අද මෙතන පාසල් දරුවන් හිටියා. විදේශිකයන් හිටියා. ඒ නිසා අද දවසේ සිදුවූ සිදුවීම ගැන අවධානය යොමුකරන්න. පාර්ලිමේන්තුවේ හැසිරීම සම්බන්ධයෙන් එකවරක් ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රසිද්ධියෙ සමාව ඉල්ලුවා. අද එතුමා එක්ක ඉන්න කණ්ඩායමේ වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා කතාකරපු ලීලාව, නලීන් බණ්ඩාර මන්ත්‍රීතුමා කළ තර්ජනය ගැන අවධානය යොමුකරන්න.
ඒ නිසා අඩුම තරමේ අද දවසටවත් මේ මන්ත්‍රීවරුන් දෙන්නාට සභාව තහනම් කරන්න කියල ඉල්ලා සිටිනවා. මෙතන ප්‍රශ්න අහන විදියක් පැහැදිලිව තියෙනවා. පැහැදිලි කරන්න ඉඩ නැහැ. නමුත් අපි ඉඩ දෙනවා. නමුත් කතාකරන කාලය අඩු වුණාම ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්රීතුමයි මමයි දෙපැත්තෙන්ම බැණුම් අහනවා. ඒනිසා ප්‍රශ්නවලට උත්තර දෙන්න ඉන්නේ පැයයි. ඇමතිවරුන්ට වැඩ තියෙනවා. අපි යනවා. අපි ස්ථාවර නියෝග අනුව වැඩ කරමු. අඩුම තරමේ අද දවසටවත් අර මන්ත්‍රීවරුන් දෙන්නා සභාවෙන් ඉවත්කරන්න කියල යෝජනා කරනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන- ඔබතුමන්ලගේ වැඩ පිළිවෙල නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව විශාල ජන මතයක් ඇතිවෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකෙන විදියට අපි වැඩ කරන්න ඕන. රටේ තිබෙන උත්තරීතර ආයතනය පාර්ලිමේන්තුවයි. ඒ නිසා නීතිය හා රීතිය අනුව කටයුතු කිරීම අපේ වගකීමයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදුන්නම ඒක වැරදි විදියට පාවිච්චි කරනවා. ඒ නිසා අද දිනය නලීන් බණ්ඩාර හා වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරුන් දෙදෙනා අද දිනයේ රැස්වීම්වලින් ඉවත්වෙන්න.