මාලදිවයිනේ පාපන්දු ක්‍රීඩා තරගාවලියක් සදහා සහභාගී වීමට ගොස් සිටි ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක යෝගේන්ද්‍රන් ඩක්සන් පියුස්ලස් ගේ මළසිරුර කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති අතර මේ වනවිට මෙම දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ,අද(03දා) මීගමුව මහ රෝහලේ දී ආරම්භ කර තිබේ .
යෝගේන්ද්‍රන් ඩක්සන් පියුස්ලස් 31 හැවිරිදි මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
ඔහු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමග මාලදිවයින තුළ ක්‍රීඩා තරග සංචාරයක් සදහා ගොස් සිටියදී , පසුගිය පෙබරවාරි මස 26 වැනි දින හදිසියේම රෝගාතුර වීමෙන් පසුව මරණයට පත් වී තිබේ .
මෙම ක්‍රීඩකයාගේ මළසිරුර (02දා) රාත්‍රී 10.30 ට මාලදිවයින සිටි පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 104 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
මේ වනවිට යෝගේන්ද්‍රන් ගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මීගමුව මහ රෝහල වෙත කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් රැගෙන විත් ඇති අතර , එය නිමා වූ පසුව , මෙම මළසිරුර භාර ගැනීම සදහා ඔහුගේ බිරිඳ ද මීගමුව මහ රෝහල වෙත පැමිණ සිටී .
කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක සේනාධීර මහතාගේ උපදෙස් මත , එම පොලීසියේ සුළු පැමිණිළි අංශයේ ස්ථානාධිපති , පොලිස් පරීක්ෂක ඇන්ටන් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කොස්තාපල් 3713 ලක්මාල් යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරති .