රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුවේ විභාගය ලබන මාර්තු මස 15 වනදා දක්වා අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් ඊයෙ 15 නිකුත් කළේය.
පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා කරුණු ඉදිරිපත් කරමින් නීතිපතිවරයා තම සේවාදායකයාට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති චෝදනා පත්‍රය දෝෂ සහගත යැයි පැවසීය.
තම සේවාදායකයාට එරෙහිව ගොනු කොට ඇති නඩුවේ පළමු චෝදනාව වැරදි සහගත බවත් එම චෝදනාව පදනම් කරගෙන පවරා ඇති සෙසු චෝදනා ද ඒ අනුව දෝෂ සහගත බවත් පැවසූ ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා ප්රශ්ණගත රිය අනතුර සිදු වූ අවස්ථාවේදී අදාළ වාහනය පැදවූයේ තම සේවාදායකයා නොවන බවත් ඒ බව පොලීසිය මහේස්ත්‍රාත් අධිකරණයට පැහැදිලිවම කරුණු වාර්තා කර ඇති බවත් පැවසීය.
අනතුර සිදුවන අවස්ථාවේ වාහනය පැදවුවේ තම සේවාදායකයාගේ රියැදුරු බවත් ඔහු අදාළ චෝදනාවලට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණයේ දී වරද පිළිගෙන දඩ මුදල් ගෙවූ බවත් කී ජනාධිපති නීතිඥවරයා එම තීන්දුවට එරෙහිවනීතිපතිවරයා මේ දක්වා කිසිදු අභියාචනයක් ඉදිරිපත් කර නොමැති බවත් එසේ තිබියදී නීතිපතිවරයා තම සේවාදායකයාට එරෙහිව මෙම නඩුව ගොනු කිරීම නීතියට පටහැණි බවත් පෙන්වා දුන්නේය.
මේ තත්ත්වය යටතේ තම සේවාදායකයාට එරෙහිව මෙම චෝදනා පත්‍රය මත කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවත් පැවසීය.
එ අවස්ථාවේදී පෙත්සම්කාර පාඨලී චම්පික රණවක මහතාට එරෙහි චෝදනා පත්‍රය පරීක්ෂාවට ලක් කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනා පත්‍රයේ යම් යම් දෝෂ ඇතැයි සඳහන් කළේය.
පාඨලී චම්පික රණවක මහතා සමග චෝදනා ලැබ සිටින එම නඩුවේ දෙවන විත්තිකාර දිලුම් තුසිත කුමාර නමැත්තා මහේස්ත්‍රාත් අධිකරණයෙ වරද පිළිගැනීමෙන් පසු දඩයක් ද නියම කර තිබියදී එම චෝදනාව මතම ඔහුට එරෙහිව යලි නඩු පැවරීම දෝෂ සහගත බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා විවෘත අධිකරණයේ පෙන්වා දුන්නේය.
ඒ අවස්ථාවේදී වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා කරුණු දක්වමින් මෙම රිය අනතුර සම්බන්ධයෙන් විත්තිකාර හිටපු අමාත්‍යවරයාට එරෙහිව වෙන් වෙන් වශයෙන් චෝදනා පත්‍ර දෙකක් ගොනු කර ඇතැයිද විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පැවරූ අවස්ථාවේ දී විත්තියේ නීතිඥවරු මෙම කරුණු මතම මූලික විරෝධතා ඉදිරිපත් කලත් මහාධිකරණය එම විරෝධතා ප්‍රතික්ෂේප කල බවතවත් අභියාචනාධිකරණය මහාධිකරණ තීන්දුව අනුමත කළ බවත් දැනුම් දුන්නේ ය.
දෙපාර්ශවයෙ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම පෙත්සම විභාගයට අවසර දීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය ලබන වසරේ මාර්තු මස 14 වැනිදා පැවැත්වීමට නියම කරමින් අදාළ තහනම් නියෝගය නිකුත් කළේය.