වර්ථමානයේ කොත්මලේ සහ වික්ටෝරියා බලාගාර වල ජලය භාවිතා කරන ආකාරය අනුව ඉදිරියේදී මෙම බලාගාර දෙකෙහි කඩා වැටීමක් සිදු වුනොත් සමස්ථ විදුලි පද්දතියම කඩා වැටීමේ අවධානම තිබෙන බවට වන අනතුරු ඇගවීම ආණ්ඩුවට සිදු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ අනුව මේ පිළිබඳ බලගතු අවධානයක් යොමු කළ යුතු බව අද (23දා) පාර්ලිමේන්තු පැවති රටේ වර්ථමනයේ තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙන එනු ලැබූ සභාව කල්තබන අවස්ථාවේ විවාධයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
"අද දිනයේ විදුලි කප්පාදුවක් පැය හතරහමාරක සිදු වෙනවා. ඊයේ පැය තුනක විදුලි කප්පාදුවක් සිදු වුනා. අද ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථාවර ධාරිතාව මොකක්ද? ප්‍රධාන ජල විලි බලාගාර වල තිබෙනවා මෙගාවොට් 1383ක්. තාප විදුලි ලංවීමට අයිති ඒවා තිබෙනවා මෙගාවොට් 1554ක්. තාප විදුලි පුද්ගලික අංශයේ මෙගාවෝට් 614ක්. මේ සියල්ල එකතු කළාට පස්සේ ස්ථාවර විදුලිය තිබෙනවා මෙගාවොට් 3551ක්. ඒ අනුව ධාරිතා ප්‍රශ්නයක් මෙතන නැති බව බොහොම පැහැදිලියි. මෙතන තිබෙන්නේ ඉන්ධන ප්‍රශ්නයක්.
ඉතාම බරපතල අනතුරු ඇගවීමක් කරන්න ඕනී. මේ අවුරුද්දේ ජනවාරි 01 වැනිදා ජල පද්දතියේ අපේ ධාරිතාව තිබුණා 88%ක. ඒ නිසා ලබන මැයි 14 වෙනකන් මේ ජලය ඉතාම පරිස්සමින් පරිහරණය කළ යුතුව තිබුණා. ජනවාරි 01 වැනිදා තිබුණා 88%ක ධාරිතාව 41%ට වැටිලා තිබෙනවා.
අපේ විදුලිබල පද්ධතියට ජල විදුලිය කියන්නේ හුදු දෙයක් නෙවෙයි. විදුලි පද්ධතිය පාලනය කරන්නේ ජල විදුලි බලාගාර වලින්. ප්‍රධාන වශයෙන්ම කොත්මලේ සහ වික්ටෝරියා බලාගාර වලින්. මේ බලාගාර දෙකෙන් මේ විදියට ජලය පාවිච්චි කරලා ඇදවැටුනොත් මුලු විදුලි බල පද්දතියම ඩීසල් තිබුනත් නැතත් කඩා වැටෙනවා. ඒ නිසා අද තිබෙන පැය 4 පැය 18 වෙන්න පුලුවන්. පැය 24 වෙන්නත් පුලුවන්. ඒ නිසා මේ පිළිබඳ බලගතු අවධානයක් අවශ්‍යයි."
