ආහාරයට ගත් කෙසෙල් ගෙඩියක කුඩා කැබැල්ලක් පෙනහැල්ලේ සිරවීමෙන් ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය හිරිපිටිය අංක 63 / 01 / 03 හි පදිංචි හෙට්ටි කංකානමලාගේ ලක්ෂ්මන් හෙට්ටි පතිරණ නමැති (64) හැවිරිදි නාවික හමුදාවේ විශ්‍රාමික තාක්ෂණ නිළධාරියකු බව පොලිසිය කියයි .
මෙම පුද්ගලයා වසර කිහිපයක සිට පාකින්සන් රෝගයෙන් පෙළී ඇති අතර ඔහුට ඇප උපස්ථාන සියල්ල බිරිදගේ අතින් සිදුව තිබේ. මේ අතරතුරදී ඉකුත් 18 දා දහවල් ආහාරය ලබා දීමෙන් පසුව අතුරු පසක් සදහා කෙසෙල් ගෙඩියක් දෙන අවස්ථාවේදී එය ආහාරයට ගනිමින් සිටියදී එක්වරම එහි ආහාර කැබැල්ලක් උගුරේ සිර වීමත් සමග වූ අසාත්මිකතාවයක් හේතුවෙන් සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
පසුව එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු මියගොසේ ඇති බවයි.ඒ අනුව මෘතදේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදු කරන ලදී.
එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය දමිත් අත්තනායක මහතා විසින් මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර තිබූ අතර ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තාවට අනුව ආහාරයට ගත් කෙසෙල් ගෙඩියක කුඩා කැබැල්ලක් දකුණු පෙනහල්ලට යාමෙන් ඇති වූ ස්වසන අපහසුතාවය මරණයට හේතුව බව හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා නිගමනය කළේය .
තවද පාකින්සන් හෝ අංශභාගය වැනි රෝග වැළඳුණු රෝගීන්ට ආහාර පාන ලබා දීමේදී මීට වඩා සැලකිලිමත්ව අවධානයෙන් සිට ආහාර ලබා දිය යුතු බවත් එවන් රෝගියෙකුට මෙවන් අසාත්මිකතාවක් සිදු වුවහොත් අත් බෙහෙත් සිදු නොකොට හැකි ඉක්මනින් පිළිගත් වෛද්‍ය වරයෙකුට යොමු කොට ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත , මරණ පරීක්ෂණයේ තීන්දුව ලබාදෙමින් හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා ඥාතීන්ට දන්වා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් මත පො.කො (77098) ලක්මාල් නිළධාරීහු පරීක්ෂණ මෙහෙයවූහ.
ශාන්ත ප්‍රදීප්