ඖෂධ ගැටලුව පිළිබඳ හෙළි කළ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාට මෙම ඖෂධ මාෆියාවට සම්බන්ධ පුද්ගලයන් ජීවිත තර්ජන එල්ල කර තිබෙන බවත්, ඒ අනුව එම තර්ජන සිදු කරන පුද්ගලයන්ගේ නම් හෙළි කිරීමට කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (02දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව ආණ්ඩුවේ කඩා වැටීමේ ආරම්භය බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා,
“සොරකම් පිළිබඳ හෙළි කළාම ඒ කරන උදවියගේ ප්‍රතිචාරය මේකනම් අපි ප්‍රධාන විපක්ෂය ලෙස ඒ මැර තර්ජන කරන අයගේ නම් ටික රටට හෙළි කරනවා. ඒ හොරකම් හෙළිකරන් යනකොට තමයි ඔවුන් මේවා කියන්නේ. මේ සම්බන්ධව අපි ක්‍රියාමාර්ග කිහිපයක් අරන් තිබෙනවා.
එකක් තමයි අපි ලෝක සෞඛ්‍ය සංවිධානයමේ ගැන දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම අපි අල්ලස් හෝ දූෂණ එකට ගිහින් පැමිණිලි කරලා තියෙනවා. ඒ වගේම අපි පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගේනවා.
ආණ්ඩු පක්ෂයේ විශාල මන්ත්‍රීවරුන් පිරිසක් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව මේ විශ්වාස භංගයට ඡන්දය දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ආණ්ඩුව කඩා වැටීමේ පළවෙනි පියවර ලෙස අපි මේක දකිනවා. ආණ්ඩුව ඡන්ද 134ක් ගත්තා ජනාධිපති පත් කරන්න.
අපි පැහැදිලිව කියනවා මේ විශ්වාස භංගයේදී ඒ 134 ලැබෙන්නේ නෑ. අද වන විට බෙහෙත් වර්ග 160ක් හදිසි මිලදී ගැනීම් සිදු කරන්න යනවා. ඇයි මේ හදිසි මිලදී ගැනීම් කරන්නේ? එහිදී මිල කී ගුණයක් වැඩියෙන් ගෙවනවාද කියලා අපේ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නා.”යනුවෙන් සඳහන් කළේය.