කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා තවදුරටත් ලබන සැප්තැම්බර් මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය අද ( 25 වැනිදා ) නියම කරනු ලැබුවාය.
මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර , කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා හා හිටපු ඇමැති මර්වින් සිල්වා ගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන තිදෙනා වෙති.
මෙදින සැකකරුවන් තිදෙනාගෙන් හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා කැළණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර නොසිටි අතර ඔවුන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගැනිණි. ඔවුනට නියෝගය බන්ධනාගාරය මගින් දන්වන බවද මහේස්ත්‍රාත්වරිය සදහන් කළාය.
මේ අතර බන්ධනාගාර ගත කර සිටින හතරවන සැකකාර දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් පමණක් අධිකරණයේ නියෝගය මත ඔහුගේ ව්‍යාපාර කටයුතු වලට අදාළව චෙක් පත් 04 කට ඔහුගෙන් අත්සන් ලබා ගැනීම සදහා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් සැකකාර දොන් සරත් කුමාර එදිරිසිංහ යන අයගෙන් එම චෙක් පත් වලට බන්ධනාගාර නිලධාරීන් ඉදිරියේ අත්සන් ලබා ගැනීමට අවසරය ලබා දෙන ලදී.
මේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ඇමැති මර්වින් සිල්වා , කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් හා නවින් වීරකෝන් යන තිදෙනා මීට ඉහත මහාධිකරණයෙන් ඇප ලබා මහේස්ත්‍රාත් අධිකරණයෙන් මුදා හැර තිබේ.
මෙම නඩුව කැඳවු අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ විමර්ශන නිලධාරීයා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ සදහන් කෙළේය.
මේ නඩුව පවරා තිබෙන්නේ නීතීපතිතුමාගේ උපදෙස් අනුව පොදු දේපල පනත යටතේයි. ඒ නිසා සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටිනවා. මෙහි විමර්ශන කටයුතු අවසන්. එහි උධෘත නීතීපතිට ඉදිරිපත් කර තිබෙනවා ඒ අනුව නීතීපති දෙපාර්තමේන්තුව විසින් දැන් එම සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා පත්‍ර ගොනු කිරීමට තිබෙන හැකියාව ගැන සලකා බලා ගෙන යනවා.
සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතීඥ දේශාල් පෝල් මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කීය.
මේ නඩුවේ උධෘත නීතීපතිට යොමු කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැමදාම අධිකරණයට ඇවිත් කියනවා. නමුත් එහි ප්‍රගති වාර්තාවක් තවම අධිකරණයට ඉදිරිපත් කර නැහැ. මේ සැකකරුවන්ට ඇප ලබා ගැනීම සදහා මහාධිකරණයට ඇප අයදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. එය ලබන සැප්තැම්බර් මස 09 වැනි දින කැඳවීමට නියමිතව තිබෙනවා.
එහිදි දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම කරනු ලැබුවාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් පැමිණිල්ල මෙහෙයවු අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ දේශාල් පෝල් මහතා පෙනී සිටීයේය.