ඊනියා අරගලකරුවන් විසින් ගම්පහ නිට්ටඹුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පුරවැසියකු ලෙස තමන් පොළොන්නරුව ජනතාවගෙන් සමාව අයදින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඊනියා අරගලකරුවන්ට අවශ්‍ය වූයේ මිනී මරා ගෙවල් ගිනි තබා බලය අල්ලා ගැනීම බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. අරගලයේ නාමයෙන් මිනිමැරූ, දේපල ගිනි තැබීම් සහ පහර දීම් වැනි සිද්ධීන් වලට සම්බන්ධ වූ සහ ඒ සඳහා අනුබල දුන් සියළු දෙනාට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඇමතිවරයා කීවේය. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ පොළොන්නරුව, හිගුරක්ගොඩ තාරුකා මණ්ඩප ශ්‍රවණාගාරයේ පැවති සින්නක්කර ඉඩම් ඔප්පු ප්රදානය කිරීමේ උත්සවයට එක් වෙමිනි.
මෙහිදී හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ප්‍රතිලාභීන් 197 කට ඉඩම් බලපත්‍ර සහ ප්‍රතිලාභීන් 43 කට ඉඩම් දීමනා පත්‍ර පිරිනැමිණි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් පොළොන්නරුව සි.අයි.සි. නිවාස යෝජනා ක්රමයේ නිවාසලාභීන් 86 දෙනෙකුට සින්නක්කර ඉඩම් ඔප්පු සහ ප්‍රතිලාභීන් 12 දෙනෙකුට “ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ රුපියල් මිලියන 2.3 ක් වටිනා නිවාස ආධාරද පිරිනැමිණි.
දිස්ත්‍රික් මට්ටමින් ඉඩම් ඔප්පු සහ නිවාස ආධාර ලබාදීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කර තිබේ. පොළොන්නරුවේදී සිදුකෙරුනේ එහි පළමු වැන්නයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වන විට වතු නිවාස, ග්‍රාමීය හා නාගරික අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කර ගනිමින් විවිධ නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී. “ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස වැඩසටහන සහ “මිහිදු නිවහන” නිවාස වැඩසටහන ඒ අතරින් ප්‍රධාන වේ.
එමෙන්ම පසුගිය වසර සහ මේ වසරේ ගතවු කාලය තුළ පමණක් දිවයින පුරා නිවාසලාභීන් 1,890 දෙනෙකු සදහා සින්නක්කර ඔප්පු ලබා දීමට කටයුතු කර ඇත.
“ අමරකීර්ති මන්ත්‍රීතුමා දේශපාලනයට පාර්ලිමේන්තු ආවේ මේ පාරේ. එතුමා තරම් අහිංසක මනුස්සයෙක් නෑ මේ පාර්ලිමේන්තුවේ. එතුමාව ඝාතනය කළේ මගේ දිස්ත්රික්කයේදියි. ඒ වෙනුවෙන් මම අදටත් කණගාටු වෙනවා. පසුගිය අරගරයේදී තිරසන්නු, හිවල්ලු එළියට ආපු කාලයක්. එතුමාව ඝාතනය කරන්න එතුමා කරපු වැරැද්ද මොකක්ද? සිරිපාල ගම්ලත් ඇමතිතුමාගේ ගේ ගිනි තිබ්බේ ඇයි? ගමේ වැඩක් කරන්නේ නැතිව විවේචනය කරනවා නම්, තියෙන මිනිහෙකුට ඊර්ෂියා කරනවා නම්, ඒ වෙන කවුරුත් නෙමෙයි ජෙවිපී කාරයෙක්.
අමරකීර්ති අතුකෝරල මහත්තයා වෙනුවෙන් මම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් මම සමාව ඉල්ලා සිටිනවා. සමාජ වෛරක්කාරයන් පිරිසක් තමයි ඒ දේ සිදු කළේ.
අපිට පක්ෂය දෙක අපිට ප්‍රථමයෙන් වටින්නේ මේ රටයි. අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි උදව් කරන්න ගත්තේ මේ රට ගැන හිතලයි. එතුමා කරගෙන ආ කොටස ඉදිරියටත් කරගෙන යන්න අපි පූර්ණ සහයෝගය ලබා දෙනවා. සමහරුන්ට ඕනි වෙලා තියෙන්නේ පොහොට්ටුව නැවත දේශපාලනයට එන එක වලක්වන්න. ඒ නිසයි පසුගිය කාලයේ අපේ පක්ෂය පිළිබඳව විවිද බොරු මත වැපුරුවේ. මේ පක්ෂය ජනතාවගේ පක්ෂයක්. තීන්දු තීරණ ගන්න ඕනි වෙලාවට අපි මේ රටේ අනාගතය ගැන හිතලා තීන්දු ගන්නවා. ගමේ පොහොට්ටුවට තියෙන බලය තවමත් එහෙමමයි. ඒකට තමයි ඇතැම් දේශපාලන පක්ෂ බයවෙලා මේ කුමන්ත්‍රණ කරන්නේ.”