ඉන්දීය සම්භවයක් ඇති උඩරට කඳුකරයේ දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් ගතවීම, උඩරට වතුකරයේ අධ්‍යාපන කටයුතු හා ධීවර ගැටළු සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමති එම්. කේ. ස්ටාලින් මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා ජල සම්පාදන හා වතුයටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පියවර ගනු ලැබීය.
තමිල්නාඩු මහ ඇමතිවරයාගේ නිල නිවසේදී ඊයේ (29දා) මෙම හමුව පැවැතිණි.
ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති කඳුකර දෙමළ ජනතාවගේ සංවර්ධනය සඳහා තමිල්නාඩු රජයේ දායකත්වය අවශ්‍ය බවත්, දෙරටේ ධීවරයන්ට හානියක් නොවන පරිදි ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර ඇති ධීවර ප්‍රශ්නයට සුමට විසඳුමක් ලබාදිය යුතු බව මෙහෙදී තමිල්නාඩු මහ ඇමැතිවරයාට පෙන්වා දුන් බව අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවැසීය.
කඳුකරයේ අධ්‍යාපනය සංවර්ධන කිරීම සඳහා තමිල්නාඩු රජයට ඉල්ලීම් හතරක් ඉදිරිපත් කිරීමට පියවර ගත් බවත්, කඳුකරයේ සිසුන්ට තමිල්නාඩුවේදී උපාධි හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමයක් ලබා ගැනීම සම්බන්ධයෙන් හා ද්‍රවිඩ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් ගතවීම හේතුවෙන් ලබන නොවැම්බර් මසදි රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙරට පැවැත්වීමට පියවර ගෙන ඇති මලයාලම් 200 නැමති උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහෙදී සාකච්ඡාව කරන ලද බවද තොණ්ඩමන් මහතා කීය.
ශ්‍රි ලංකාවේ ද්‍රවිඩ කම්කරු ජනතාවට ඉන්දියාව විසින් ආධාර වැඩසටහන් රැසක් සිදු කොට ඇති බවත්, ඊට මෙරට ජනතාව වෙනුවෙන් සිය කෘතඥතාවය තමිල්නාඩු මහ ඇමතිවරයා හට ප්‍රකාශ කරන ලද බවත්, ලංකා කම්කරු කොංග්‍රසය හා තමිල්නාඩු ඩී. එම්. කේ. පක්ෂය සමග අඛන්ඩව ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බවද අමාත්‍ය තොනන්ඩමන් මහතා වැඩිදුරටත් පැවැසීය.
ශාන් හුලංනුගේ
