ඉවතලන ප්ලාස්ටික්, පොලිතින් සහ දැල් ආම්පන්නවලින් ඉන්ධන නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතිය ධීවර වරායන් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම වැඩපිළිවෙළ තුළින් ධීවර කර්මාන්තය සඳහා විකල්ප බලශක්ති හඳුන්වා දීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
ඉන්ධන පිළිබඳ කලින් කලට මතුවන ගැටලු අවම කර ගැනීම, ධීවර බෝට්ටු සඳහා ඉන්ධන භාවිතයේදී සාගරයට තෙල් මිශ්‍ර වීමෙන් සාගර පරිසර පද්ධතියට වන බලපෑම් අවම කර ගැනීමට මෙමගින් හැකිවනු ඇතැයි දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේය.
සාගර පතුල දූෂණය වීම නිසා කොරල්පර පද්ධතිය ඇතුළු සාගර සම්පත් විනාශය සඳහා වන බලපෑම් ඉතා ඉහළ අගයක පවතී. මේ නිසා මත්ස්‍ය සම්පත සඳහා දැඩි බලපෑම් එල්ල වෙමිත් පවතින අතර, එවැනි තත්ත්වයක් හමුවේ ශ්‍රී ලංකාවට අයත් සාගර තීරයේ මත්ස්‍ය ගහනයේ අඩුවීමක් පැහැදිලිව නිරීක්ෂණය වී ඇත.
ධීවර රැකියාවේ යන ධීවර කාර්මිකයන් දිනපතා ප්ලාස්ටික් වතුර බෝතල්, පොලිතින් ඇතුළු රැගෙන යන දෑ විශාල වශයෙන් මුහුදට මුසුවීමත්, ගොඩබිම අපද්‍රව්‍ය සාගරයට එක්වීමත් නිසා සාගර පරිසර පද්ධතියට මෙවැනි තර්ජනයක් එල්ල වී තිබේ.
මේ නිසාම සංවේදී කොරල්පර පද්ධතිය රැක ගැනීම සඳහා කොරල්පර පවිත්‍ර කිරීමේ වැඩපිළිවෙළක්ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇත.
මෙහි මීළඟ පියවර ලෙස ධීවර වරායන් ආශ්‍රිතව ගොඩගැසෙන එවැනි අපද්‍රව්‍ය විධිමත් ලෙස බැහැර කිරීම සඳහා සෑම බහුදින ධීවර යාත්‍රාවක් සඳහාම කසළ බැහැර කරන උපකරණ හඳුන්වා දීමටත්, ගොඩබිමට රැගෙන එන එම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා අදාළ පළාත් පාලන ආයතන සමග ඒකාබද්ධ වැඩපිළිවෙළක් හඳුන්වා දීම සඳහාත් අවශ්‍ය කටයුතු කිරීමට අදාළ නිලධාරීන්ට මේ වන විට උපදෙස් දී තිබේ.
