කිසියම් පිරිසක් පළාත් පාලන මැතිවරණය ඉල්ලා අධිකරණයට ගිය නිසාත්, මාර්තු මාසේ 20දාට පළාත්පාලන අයතන විසිරෙන නිසාත් පළාත්පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට සකසා තිබූ කිසිම පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නොහැකිවන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමති ජානක වක්කුඹර මහතා අද (29දා) පැවසුවේය.
ඇඹිලිපිටිය, ගමකන්ද, සේවාපියස විවෘත කිරිමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.
"පළාත් පාලන අයතන මාර්තු මාසේ විසිවෙනදාට විසිරෙනවා. ඡන්දය ගැසට් කිරිම මැතිවරණ කොමසාරිස්වරයාට කරන්න පුලූවන්. මම දන්න හැටියට ලබන ජනවාරි මාසේ මුල් සති කිහිපය තුළ නාමයෝජනා සඳහා දිනයක් ගැසට් කරයි. පනත හැටියිට විසිරුවන්න බෑ. මාර්තු විසිවෙනදා වෙනකම් ආයතන තියනවා. මැතිවරණයත් අනිවාර්යයෙන් තියනවා.
අපි රජයක් විදියට පළාත්පාලන මැතිවරණය කිසිම විටක කල්දාන්නේ නෑ. සමහරු කියනවා අපි මැතිවරණයකට යන්න බයයි කියලා. අපි දැන් නාමයෝජනාත් හදලා ඉවරයි. මෙන්න මේ දවසට නාමයෝජනා බාරදෙන්න කියලා මැතිවරණ කොමසාරිස්තුමා කිව්ව වහාම අපි හදන සංධානෙන් ඉස්සරවෙලාම නාම යෝජනා බාර දෙනවා.
මැතිවරණය සඳහා දින නියම කිරීමේ බලය තියෙන්නේ මැතිවරණ කොමසාරිස්තුමාට. එතුමා ඒක කරනකම් අපි බලාගෙන ඉන්නවා. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ කියලා අපි හිතුවා. රටේ ජනතාවත් කිව්වා. ඒ වගේම තරුණයන්ට මේකේ ඉඩක් ඇත්තේම නෑ.
තරුණයන්ට 25%ක් තිබුණ එක මේ පනතින් අයින් කරලා තියනවා. ඒ වගේම වියදම් කළමනාකරණ පනතක් අපි පාර්ලිමේන්තුවට ගෙනත් තියනවා. ඒ පනත ගෙනාවාම කෝටිපතියෙකුට වුණත් සල්ලිදිලා තමන්ට ඕනෑ ඕනෑ විදියට ඡුන්ද දිනන්න බෑ. හැමෝටම එක විදියට සල්ලි වියදම් කරන්න වෙන්නේ.
ඒ එක පනතක්වත් ගේන්න බැරිවෙලා තියනවා. මොකද කණ්ඩායමක් මැතිවරණය තියන්න කියලා අධිකරණයට ගිහිං තියනවා. ඉතිං මැතිවරණ කොමසාරිස්තුමා මැතිවරණය තිබ්බෙ නැත්නම් ඕනෑ අධිකරණයට යන්න. ඊට ඉස්සෙල්ලා ගියේ මොකටද කියලා අපි දන්නේ නෑ."
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්නේ ජේ නානායක්කාර