මෙරටට ආහාරමය පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා මේ වර්ෂයේ ජනවාරි 1 වැනිදා සිට ජුනි 30 දක්වා කාලසීමාව තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 2,315.5 ක මුදලක් වැය කොට තිබූ බව ශ්‍රි ලංකා මහා බැංකුව විසින් අගෝස්තු 8 වන දින නිකුත් කොට ඇති මූල්‍ය වාර්තාවකින් අනාවරණය වෙයි.
2024 වර්ෂයේ මුල් මාස හයට ( ජනවාරි 1 සිට ජුනි 30 ) ආහාරමය පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා වැඩිපුර වැය වී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 781.3 කි.ආහාරමය පාරිභෝගික භාණ්ඩ ආනයන කිරීම යටතේ වැඩිම මුදලක් වැය වී ඇත්තේ ආහාර සහ පාන වර්ග සඳහා වන අතර එම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1094.5 කි.
ඊට අමතරව මෙම වර්ෂයේ මුල් මාස හය තුළදී ධාන්‍ය හා ඇඹරුම් කර්මාන්ත ආශ්රිත නිෂ්පාදන සඳහාඇමෙරිකානු ඩොලර් මිලියන 78.9 ක්ද කිරි ආශ්රිත නිෂ්පාදන සඳහා ඩොලර් මිලියන 182.5 ක්ද එළවලු සඳහා ඩොලර් මිලියන 233 ක්ද මුහුදු ආහාර සඳහා ඩොලර් මිලියන 52 ක්ද සීනි හා රස කැවිලි නිෂ්පාදන සඳහා ඩොලර් 2015 ක් සහ කුළුබඩු සඳහා ඩොලර් මිලියන 47 ක මුදලක්ද වැයකොට ඇති බැව් එම බැංකුව විසින් නිකුත් කර ඇති මූල්‍ය වාර්තාවෙි සදහන් වෙයි.
චන්දන සමරවීක්‍රම