දැනට නිල කාලය අවසන් වී ඇති පළාත් සභා තුනේ සහ ලබන මාසයේ නිල කාලය අවසන් වෙන පළාත් සභා තුනේ මැතිවරණය පැවැත්වෙන කාල වකවානුව ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන සීමා නිර්ණ කොමිසමේ වාර්තාව සම්මතවීම හෝ නොවීම මත තීරණය වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන සීමා නිර්ණ කොමිසමේ වාර්තාව සම්මත වුවහොත්, පළාත් සභා හයක මැතිවරණය ලබන සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට හැකිවන අතර, සම්මත නොවුණහොත් පළාත් සභා මැතිවරණය තවදුරටත් කල්යනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු පැවසීය.
පළාත් සභා මැතිවරණ පනත පසුගිය වසරේ සම්මත කර ඇති බැවින්, නැවත පරණ ඡන්ද ක්‍රමය ගැන කතා කිරීමේ හැකියාවක් නැති බවට පැවසූ එම අමාත්‍යවරයා, නැවත පරණ ක්‍රමයට ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නම්, පසුගිය සැප්තැම්බරයේ සම්මත කළ පළාත් සභා ඡන්ද විමසීමේ පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අහෝසි කළ යුතුව ඇති බවද පැවසීය.
සීමා නිර්ණ කොමිසමේ වාර්තාව ලබන 24 වැනිදා සම්මත වුවහොත්, පළාත් සභා මැතිවරණය අලුත් ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් කෙරෙන බවද ඔහු සඳහන් කළේය.
පළාත් සභා මැතිවරණය අලුත් ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වීමට ආණ්ඩුවේම සුළු පක්ෂ කිහිපයක් විරෝධය පළකර ඇති බැවින්, එය තුනෙන් දෙකකින් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුවට දැඩි වෙහෙසක් ගැනීමට සිදුව ඇති බවටද වාර්තා වේ.
සීමා නිර්ණ කොමිසමේ වාර්තාව පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා විසින් පසුගිය මාර්තු මස 6 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, පළාත් සභා ඡන්ද විමසීම් පනත අනුව, එය මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කළ යුතු වුවත්, එසේ නොවුණ නිසා එය ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තිරණය කර තිබේ.
අජන්ත කුමාර අගලකඩ / දයාසීලි ලියනගේ