මිල අධික පිළිකා ඖෂධ 10ක් ඇතුළු ඖෂධ සහ උපකරණ 25ක මිල අඩු කිරීමේ ගැසට්පත්රය ඉදිරි දෙසතිය තුළ ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, සිය ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේදී පැවැති බෝනොවන රෝග පිළිබඳ කවුන්සිලය රැස් වූ අවස්ථාවේදීය.
ඖෂධ ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් වසරකට රුපියල් බිලියන 07කට අධික මුදලක් වැය කරනු ලබන බව එහිදී සඳහන් කළ අමාත්‍යවරයා, පිළිකා ඖෂධ මිල අඩු කිරීම හරහා රුපියල් බිලියන 02ක මුදලක් රජයට ඉතිරි කරගත හැකි වනු ඇතැයිද පෙන්වා දුන්නේය.
"පිළිකා ඖෂධවලින් සියයට 95ක් මිල දී ගනු ලබන්නේ රජයයි. පෞද්ගලික අංශය සියයට 05ක් පමණ අලෙවි කරනවා. පිළිකා ඖෂධ මිල අධිකයි. එම නිසා පිළිකා ඖෂධ මිලදී ගැනීමේ හැකියාවක් රෝගීන්ට නැහැ. ඖෂධ ආනයනය කිරීම සඳහා වසරකට රජය රුපියල් බිලියන 07කට අධික මුදලක් වැය කරනවා.
පිළිකා ඖෂධ මිල අඩු කිරීම තුළින් රජයට ඉතිරි වන මුදල රුපියල් බිලියන 02ක්. 'ටැබ්සුමාබ්' නමැති පිළිකා ඖෂධය යහපාලන රජය බලයට පත්වන විට අලෙවි වූයේ රුපියල් දෙලක්ෂ අසූදාහකටයි. එය අද වන විට රුපියල් එක්ලක්ෂ හතළිස් හතරදහස දක්වා අඩු වී තිබෙනවා.
මේ ආකාරයෙන් මිල අධික පිළිකා ඖෂධ 10ක මිල අඩු කරනවා. යහපාලන රජය බලයට පත්වන තුරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිදහස් සෞඛ්‍ය සේවාව කියා මුදල් ගෙවා ඇත්තේ ඖෂධ සමාගම්වලටයි. පිළිකා රෝගීන් සඳහා පැවැති රුපියල් ලක්ෂ 15 ප්‍රතිකාර සීමාව මම ඉවත් කළා. මේ වන විට එක් රෝගියෙකු රුපියල් ලක්ෂ 450 දක්වා ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. අසරණ රෝගීන් එම නිසා ජීවත් වෙනවා. රෝගීන්ගේ ජීවත් වන කාලපරිච්ඡේදය වැඩි වී තිබෙනවා. එය ඉතාම වැදගත්" යැයි පවසා සිටියේය.