පහරදීමකට ලක්ව තුවාල ලැබූ පුද්ගලයෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇති බව එම මරණය සම්බන්ධයෙන් පවත්වන ලද මහේස්ත්රාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
අලව්ව ප්රදේශයේ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇත.
මීට සති දෙකකට පමණ ඉහතදී පහරදීමකට ලක්ව බරපතළ තුවාල ලබා ඇති මෙම පුද්ගලයා අලව්ව රෝහලේ සිට වැඩිදුර ප්රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
එසේ ප්රතිකාර ලබමින් සිටි ඔහු පසුගිය (26) දින මරණයට පත්ව ඇත.
මරණයට පත්වූ පුද්ගලයා සම්බන්ධයෙන් කළ පීසීආර් පරීක්ෂණයකදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
එම මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්රාත් මරණ පරීක්ෂණය සිදු කළ කුරුණෑගල වැඩ බලන මහේස්ත්රාත් නීතීඥ නලීන්ජේ.එදිරිසිංහ මහතා මෙය කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණයක් බවට පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබූණද එම මරණයට පහරදීමක්ද හේතුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර එම පහර දීමට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස අලව්ව පොලීසියට නියම කළේය.
කොරෝනා මරණ සඳහා අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් රජය විසින් මේවනවිට ප්රකාශයට පත් කර ඇති ගැසට් නිවේදනයට අනුව මිය ගොස් සිටින පුද්ගලයාගේ අවසන් කටයුතු සඳහා භූමදානය හෝ ආදාහනය කිරීමට අවසර ලබා දෙන බවද වැඩ බලන මහේස්ත්රාත් නලීන් ජේ.එදිරිසිංහ මහතා ප්රකාශ කළේය.
රජයේ නවතම ගැසට් නිවේදනයට අනුව කුරුණෑගල දිස්ත්රික්කයේ කොරෝනාවෛරසය ආසාදනය වූ අයෙකු භූමදානය කිරීමට අවසර ලබා දුන් ප්රථම අවස්ථාව මෙය වේ.
ගීතාංජලී ප්රියදර්ශනී